2. 3.
තෘතීය පාරාජිකය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසල්පුර මහවෙනෙහි කූටාගාරසාලාවෙහි වෙසෙන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් භික්‍ෂූන්ට අසුභය පිළිබඳ කථාව වදාරණ සේක. අසුභයෙහි විස්තර වදාරණ සේක. අසුභභාවනාවෙහි ගුණ කියන සේක. කරුණු දක්ව දක්වා අසුභසමාපත්තියෙහි අනුසස් වදාරණ සේක.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මම අඩමසක් හුදකලාව වසන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙණෙන එක් මහණකු හැර කිසිවකු විසින් නොඑළඹිය යුත්තෙම් වෙමි” යි. “වහන්ස, එසේ ය” යි. ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී මෙහි පිණ්ඩපාතය ගෙණෙන එක් මහණකු හැර කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹෙයි.
3. භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අසුභකථාව වදාරණ සේක. අසුභයෙහි විස්තර කියන සේක. අසුභභාවනාවෙහි ගුණ කියන සේක. කරුණු දක්ව දක්වා අසුභසමාපත්තියෙහි අනුසස් වදාරණ සේකැ” යි ඒ භික්‍ෂූහු නොයෙක් අයුරින් මුසු වූ අසුභභාවනාවෙහි යෙදුනාහු වෙසෙත්.
4. යම්සේ සැරසීම පියවි කොට ඇති හිස නෑවාවූ තරුණ වූ යොවුනෙහි සිටියා වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගෙලෙහි ලැගුනු සර්‍පකුණපයකින් හෝ බලුකුණකින් හෝ මිනිස් කුණකින් හෝ පෙළෙන්නේ ද, ලජ්ජිතවන්නේ ද, පිළිකුල් කරන්නේ ද, එපරිද්දෙන් ම ඒ භික්‍ෂූහු සියකයින් පෙළෙන්නාහු ලජ්ජිත වන්නාහු, පිළිකුල් කරන්නාහු තුමූ තමන් ම ජීවිතයෙන් තොරකර ගණිත්. ඔවුනොවුන් ද ජීවිතයෙන් තොරකර ගණිත්. මහණවෙස් ගත් මිගලණ්ඩිකයා වෙත ද එළඹ මෙසේ කියත්: “ඇවත, අප ජීවිතයෙන් තොර කරණු මැනව. මේ පා සිවුරු තට වන්නේය” යි.
5. ඉක්බිති මහණ වෙස් ගත් මිගලණ්ඩික තෙමේ පා සිවුරුවලින් පෝෂිත වූයේ බොහෝ භික්‍ෂූන් දිවියෙන් තොර කොට ලේ වැකුනු කඩුව ගෙණ වග්ගුමුදා නදිය වෙත පැමිණියේ ය. ඉක්බිති ලේ වැකුණු කඩුව දෝනා මහණවෙස් ගත් මිගලණ්ඩිකයාට කුකුස් වූයේ ම ය. විපිළිසර වූයේ ම ය. “ඒකාන්තයෙන් මට අලාභයහ. ඒකාන්තයෙන් මට ලාභයෝ නො වෙති. මා ලත් මිනිසත් බව ද නපුරු ය. මනාසේ ලද්දක් ද නො වෙයි. යම් බඳු වූ මම සිල්වත් වූ කලණදම් ඇති භික්‍ෂූන් දිවියෙන් තොර කෙළෙම් ද, ඒ මා විසින් ඒකාන්තයෙන් බොහෝ අකුසල් රැස්කරන ලද්දේය” යී.
6. ඉක්බිති එක්තරා මාරපාක්‍ෂික දෙවියෙක් නොබිඳෙන දියෙහි (ඍද්ධියෙන්) අවුත් මහණවෙස් ගත් මිගලණ්ඩිකයාට මෙය කීය: “සත්පුරුෂය, ඉතා මැනවි. සත්පුරුෂය, තට ලාභයහ. සත්පුරුෂය, තා විසින් ලද්දේ මනා මිනිසත් බවෙක. යම් හෙයකින් තෝ සසරින් එතර නුවූවන් එතර කෙළෙහි ද එහෙයින් තා විසින් බොහෝ පින් රැස් කරණ ලද්දේය.” යි
7. ඉක්බිති මහණ වෙස්ගත් මිගලණ්ඩිකයා “මට ලාභය. මා විසින් ලද්දේ මනා මිනිසත් බවෙක. මා විසින් බොහෝ පින් රැස් කරන ලද්දේ ය. මම වනාහි සසරින් එතර නුවූවන් එතර කෙරෙමි”යි තියුණු අසිපතක් ගෙණ වෙහෙරින් වෙහෙරට ද, පිරිවෙණින් පිරිවෙණට ද එළඹ මෙසේ කියයි: “කවරෙක් සසරින් එතර නුවූයේ ද? කවරකු සසරින් එතර කෙරෙම්දැ”යී. එහි යම් අවීතරාග භික්‍ෂූහු වෙත් නම් ඔවුන්ට එකල්හි බියෙක් වේ ම ය. තැති ගැණීමෙක් වෙයි. ලොමුදහගැන්මෙක් වෙයි. යම් ඒ වීතරාග භික්‍ෂූහු වෙද්ද එකල්හි ඔවුන්ට බියෙක් නො වෙයි. තැතිගැන්මෙක් නො වෙයි. ලොමු දහගැන්මෙක් නො වෙයි.
8. ඉක්බිති මහණ වෙස් ගත් මිගලණ්ඩික තෙමේ එකදවසකින් එක් මහණකුදු දිවියෙන් තොර කළේය. එකදවසකින් භික්‍ෂූන් දෙනමක් ද දිවියෙන් තොර කෙළේය. එකදවසකින් භික්‍ෂූන් තෙනමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් සිවුනමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් පස්නමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් දසනමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් වීසිනමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් තිස් නමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් සතළිස් නමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් පනස් නමක් ද දිවියෙන් තොර කෙළේ ය. එකදවසකින් භික්‍ෂූන් සැට නමක් ද දිවියෙන් තොර කෙළේ ය.
9. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් පල සමවතින් නැගී සිටිසේක් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූ සේක: “ආනන්‍දය, කුමක් හෙයින් භික්‍ෂූ සඞ්ඝයා තුනීවූවාක් මෙන් වී ද?”යී
10. වහන්ස, එසේ ම ය. භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් භික්‍ෂූන්ට අසුභකථාව වදාරණ සේක. අසුභයෙහි විස්තර කියන සේක. අසුභ භාවනාවෙහි ගුණ කියන සේක, කරුණු දක්ව දක්වා අසුභ සමවතෙහි අනුසස් වදාරණ සේක. වහන්ස, ඒ භික්‍ෂූහු ද “භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අසුභකථාව වදාරති. අසුභයෙහි විස්තර කියති. අසුභ භාවනාවෙහි ගුණ කියති. කරුණු දක්ව දක්වා අසුභ සමවතෙහි අනුසස් කියති” යි ඒ භික්‍ෂුහු නන් අයුරින් මුසු වූ අසුභභාවනාවෙහි යෙදුනාහු වෙසෙත්. ... යම් සේ සැරසීම පියවි කොට ඇති ශීර්‍ෂස්නානය කළ තරුණ වූ යොවුනෙහි සිටියා වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ගෙලෙහි ලැගුනු අහිකුණපයකින් හෝ බලුකුණකින් හෝ මිනිස් කුණකින් හෝ පීඩිත වන්නේ ද, ලජ්ජිතවන්නේ ද, ජුගුප්සිත වන්නේ ද, එමෙන් ම ඒ භික්‍ෂූහු සිය කයින් පීඩිත වෙමින් ලජ්ජිත වෙමින් ජුගුප්සිත වෙමින් තුමූ ම තමන් නසා ගනිත්. ඔවුනොවුන් ද දිවි තොර කර ගණිත්. මහණවෙස් ගත් මිගලණ්ඩිකයා වෙත ද පැමිණ මෙසේ කියත්: “ඇවැත්නි, අප දිවියෙන් තොර කරණු මැනැවි. මේ පාසිවුරු තට වන්නේය” යි. ඉක්බිති ශ්‍රමණවේශය ගත් මිගලණ්ඩික තෙමේ පාසිවුරු වලින් පෝෂිත වූයේ එක් දවසකින් එක් භික්‍ෂූ නමක් ද, ... එක් දවසකින් භික්‍ෂූන් සැට නමක් ද දිවියෙන් තොර කෙළේ ය. “වහන්ස, යම් සේ මේ භික්ඛුසඞ්ඝතෙමේ අර්‍හත්‍වයෙහි පිහිටන්නේ ද භාග්‍යවතුන් වහන්සේ එබඳු වූ අනික් ක්‍රමයක් දෙසන සේක්වා” යී.
11. “ආනන්‍දය, එසේ වී නම් යම් පමණ භික්‍ෂූහු විසල්පුර ඇසුරු කොට වෙසෙද් ද, ඒ සියල්ලන් උවැටන්හලෙහි රැස් කරවයි. “වහන්ස, එසේය” යි ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී යම් පමණ භික්‍ෂූහු විසල්පුර ඇසුරු කොට වෙසෙත් ද, ඒ සියල්ලන් උවැටන්හලෙහි රැස්කරවා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මෙය සැළ කෙළේ ය. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යමකට කල් දන්නා සේක් ද ඒ සඳහා භික්‍ෂූසඞ්ඝතෙමේ රැස්වීය” යි.