විනිශ්චිත කථාවස්තු
උද්දාන ගාථා:
රජක බඩු විසින් වස්තු පසෙක් ද අත්‍ථරණ නිසා සතරෙක් ද අන්‍ධකාරයෙන් පසක් ද හාරක විසින් පසක් හා සයෙක් ද කියන ලද හ. (25)
නිරුත්තියෙන් පසෙක් ද වාතයෙන් දෙකෙක් ද අසම්භින්න කුසාපාතජන්තග්ග වස්තු තුන සමඟ දසයෙක් කියන ලදි. (10)
විඝාස විසින් පසෙක් ද අමූලක පසෙක් ද දුර්භික්‍ෂයෙහි කුර - මංස - පූව - සක්ඛලික - මෝදක වශයෙන් පසෙක් ද කියන ලද හ. (15)
පරික්ඛාර වස්තු සතරෙකි, සකපරික්ඛාර එකෙකි, ථවිකා - භිසි - චීවරවංස - න නික්ඛම වසයෙන් සතරෙකි, ඛාදනීය නිසා එකෙකි. තවත් සසඤ්ඤා විසින් දෙකෙකි. (12)
නාවහරාමයී සතෙකි, අවාහරුංයී සතෙකි, සඞ්ඝසන්තක අවහාර සතෙකි, පුප්ඵාරාම විසින් තවත් දෙකෙකි. (23)
වුත්තවාදී තුනෙකි, මණි අතික්කම තුනෙකි, සූකර දෙකෙකි. මිග දෙකෙකි. මච්ඡ දෙකෙකි. යානය පෙරළීයයි කී එකෙකි. (13)
මංස පේසි දෙකෙකි. දාරු දෙකෙකි. පංසුකූල එකකි. උදක (නදී) දෙකෙකි. අනුපුබ්බ සංවිධාන ‘නපරිපූරී’ සමඟ දෙකෙකි. එයින් අන්‍ය වූ එකකි. (10)
සැවතෙහි මුට්ඨි වත්‍ථු සතරෙකි. විඝාස දෙකෙකි. තිණ දෙකෙකි. සඞ්ඝභාජන සතෙකි. අසාමික විසින් සතෙකි. (22)
දාරු - උදක - මත්තිකා වසයෙන් තුනෙකි. තිණ දෙකෙකි. අවභාසන වත්‍ථු සතෙකි. සස්සාමික නීහරෙය්‍ය - තාවකාලික හරෙය්‍ය වසයෙන් දෙකෙකි. (14)
චම්පා නුවර, රජගහ නුවර, විසල්පුර, අජ්ජුක බරණැස, කොසඹෑනුවර, සාගලපුර, දල්හික යයි වත්‍ථු සයෙකි. (6) – 150
1. එසමයෙහි සවග මහණු රදා තොටකට ගොස් රෙදි පොට්ටනියක් සොරකම් කළාහු ය. “භාග්‍යවතුන් වහන්සේ විසින් සික පද පනවන ලදි. “කිම, අපි පරිජිඇවැත් අවන්නමෝ දැ?” යි ඔවුනට කුකුස් ඇති විය. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කළාහු ය. “මහණෙනි, තෙපි පරිජිඇවැත් අවන්නහු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. (1)
2. එසමයෙහි එක්තරා මහණෙක් රදා තොටකට ගොස් මා හැඟි වතක් දැක සොර සිත් ඉපදවීය. “කිම, මම පරිජිඇවැත් අවන්නෙම් දෝ” යි ඔහුට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කළේ ය. “මහණ, චිත්තෝත්පාදයෙහි ඇවැත් නො වේ” යැ යි වදාළ සේක. (2)
3. එසමයෙහි එක්තරා මහණෙක් රදා තොටකට ගොස් මා හැඟි වතක් දැක සොර සිතැතියේ ආමර්‍ශනය කෙළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ” යැ යි වදාළ සේක. (3)
4. එසමයෙහි එක්තරා මහණෙක් රදා තොටකට ගොස් මා හැඟි වතක් දැක සොර සිත් ඇත්තේ සෙලවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. ථුලැසිඇවැත් වේ” යැ යි වදාළ සේක. (4)
5. එසමයෙහි එක්තරා මහණෙක් රදා තොටකට ගොස් මා හැඟි වතක් දැක සොර සිත් ඇත්තේ තුබූ තැනින් පහ කළේ ය. ඒ මහණ හට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක.
6. එසමයෙහි එක්තරා පිණ්ඩචාරික මහණෙක් මාහැඟි උතුරු අතුරුණක් දැක සොර සිත් ඉපද විය ... සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙළේ ය. ... සොර සිත් ඇත්තේ සෙලවිය. ... සොර සිත් ඇත්තේ තුබූ තැනින් පහ කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (6-9)
7. එසමයෙහි එක්තරා මහණෙක් දවල් භාණ්යක් දැක ‘රෑ පැහැර ගන්නෙමි’ යි නිමිති කළේ ය. හේ ‘එයැ’ යි හඟිමින් එය සොරකම් කළේ ය. ... ‘එයැ’ යි හඟිමින් අනෙකක් සොරකම් කළේ ය. ... ‘අනෙකකැ’ යි හඟිමින් එය සොරකම් කළේ ය. ... ‘අනෙකකැ’ යි හඟිමින් අනෙකක් සොරකම් කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (10-13)
8. එසමයෙහි එක්තරා මහණෙක් දවල් භාණ්ඩයක් දැක ‘රෑ සොරා ගන්නෙමි’ යි නිමිති කෙළේ ය. හේ තෙමේ ‘ඒ ම යැ’ යි හඟිමින් තමා සතු භාණ්ඩයක් සොරකම් කළේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, පරිජිඇවැත් නො වේ. දුකුළාඇවැත් වේ” යැ යි වදාළ සේක. (14)
9. එසමයෙහි එක්තරා මහණෙක් අනෙකෙකු සතු භාණ්ඩයක් ගෙණ යන්නේ හිසෙහි තුබූ බර සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙළේ ය. ... සොර සිත් ඇත්තේ සෙලැවී ය. ... සොර සිත් ඇත්තේ කරට ගත්තේ ය. ... කරෙහි වූ බර සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කළේ ය. ... සොර සිත් ඇත්තේ සෙලැවී ය. ... සොර සිත් ඇත්තේ උකුළට ගත්තේ ය. ... උකුළෙහි වූ බර සොර සිත් ඇත්තේ ආමර්‍ශනය කෙළේ ය. සොර සිත් ඇත්තේ සෙලැවී ය ... සොර සිත් ඇත්තේ අතින් ගත්තේ ය. ... අතෙහි වූ බර සොර සිත් ඇත්තේ බිම තැබීය. ... සොර සිත් ඇත්තේ බිමින් උඩට ගත්තේ ය. ඔහුට කුකුස් විය. ... “මහණ, තෝ පරිජිඇවැත් අවන්නෙහි යැ” යි වදාළ සේක. (15-25)
10. එසමයෙහි එක්තරා මහණෙක් අභ්‍යවකාශයෙහි සිවුරක් අතුට විහාරයට ගියේ ය. එක්තරා මහණෙක් ‘මේ සිවුර නො වැනසේ වා’ යි තැම්පත් කොට තැබී ය. ඒ මහණ තෙමේ නික්ම ගොස් “ඇවත, මාගේ සිවුර කවරකු විසින් පැහැර ගන්නා ලද දැ” යි ඒ මහණ විචාළේ ය. ‘ම විසින් පැහැර ගන්නා ලද යැ’ යි ඒ මහණ කීය. හේ තෙමේ ‘තෝ අශ්‍රමණයෙහි යැ’ යි කියා එය ගත්තේ ය. ඒ මහණහට කුකුස් විය. භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැල කළේ ය. “මහණ, තෝ කෙබඳු සිතැතියෙහි දැ” යි අසා වදාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, මම් ව්‍යවහාර වචන ඇත්තෙම් වෙමි” යි හේ කීය. “මහණ, ව්‍යවහාර වචනයෙහි ඇවැත් නො වේ” යැ යි වදාළ සේක. (26)