ද්විතීයපාරාජිකය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ සමයෙහි දුටු පමණින් මිතුරු වූ දැඩි මිතුරු වූ බොහෝ භික්‍ෂූහු ඉසිගිලි පර්‍වත පාර්‍ශවයෙහි තණ කිළි කොට වස් එළඹියාහු ය. කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේත් තණ කිළියක් කොට වස් එළඹියේ ය.
2. ඉක්බිති ඒ භික්‍ෂූහු විසූ වස් ඇත්තාහු තෙමස ඉක්ම යෑමෙන් තණ කිළි බිඳ දමා තණ ද ලී දඬු ද තැම්පත් කොට තබා දනව් සැරිසැරීමෙහි නික්මුනාහු ය. කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ එහි ම (තමන් කළ කුටියෙහි) වස්සානය ද එහි ම හේමන්තය ද එහි ම ගිම්හානයෙහි ද විසී ය.
3. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් ගමට පිඬු පිණිස පිවිසියැ දී තණ ගෙන යන ස්ත්‍රීහු ද දර ගෙන යන ස්ත්‍රීහු ද තණකිළිය බිඳ දමා තණ ද දැව ද රැගෙන ගියාහු ය.
4. දෙවෙනි වර ද කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ තණ ද දැව ද රැස් කොට ගෙන තණ කිළියක් කළේ ය. දෙවෙනි වර ද කුම්භකාර පුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් ගමට පිඬු පිණිස පිවිසියැ දී තණ ගෙන යන ස්ත්‍රීහු ද දැව ගෙන යන ස්ත්‍රීහු ද තණ කිළිය බිඳ දමා තණ ද දැව ද රැගෙන ගියාහු ය.
5. තෙවෙනි වර ද කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ තණ ද දැව ද රැස් කොට තණ කිළියක් කෙළේ ය. තෙවෙනි වර ද කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන් ගමට පිඬු පිණිස පිවිසියැ දී තණ ගෙන යන ස්ත්‍රීහු ද දැව ගෙන යන ස්ත්‍රීහු ද තණ කිළිය බිඳ දමා තණ ද දැව ද රැගෙන ගියාහු ය.
6. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන්ට මේ සිත විය: “තෙවෙනි වර දක්වාත් මා ගමට පිඬු පිණිස පිවිසියැ දී තණ ගෙන යන ස්ත්‍රීහු ද, දැව ගෙන යන ස්ත්‍රීහු ද තණ කිළිය බිඳ දමා තණ ද දැව ද රැගෙන ගියාහු ය. මම් වනාහි ස්වකීය ආචාර්‍ය්‍යයන්ගේ කර්‍මය වූ කුම්භකාරකර්‍මය මනාසේ උගත්තෙම් වෙමි. පිරිපුන් සිප් ඇත්තෙම් වෙමි. අසදෘශ ශිල්ප ඇත්තෙම් වෙමි. ඉදින් මම් තෙමේ ම මැටි පාගා පදම් කොට හැම මැටිමුවා කිළියක් කරන්නෙම් නම් යෙහෙක” යනු යි.
7. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ මැටි පාගා පදම් කොට හැම මැටිමුවා කිළියක් කොට තණ ද දර ද ගොම වැරටි ද රැස් කොට ඒ කිළිය පිළිස්සීය ය. රතිඳුගොව්වකු වැනි පැහැ ඇති ඒ කිළිය මනා රූ ඇත්තක් විය. දැකුම්කලු විය. ප්‍රසාද එළවන්නක් විය. ලෙහෙවන් විය. ඒ කිළියේ හඬ කිකිණි හඬ සේ විය.
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමඟ ගිජුකුළු පව්වෙන් බස්නා සේක් මනා පැහැ ඇති දැකුම්කලු ප්‍රසාද එළවන ලේවන් වූ ඒ කිළිය දුටු සේක. දැක භික්‍ෂූන් අමතා “මහණෙනි, රතිඳුගොව්වකු වැනි පැහැති මනා රූ ඇති දැකුම් කළු ප්‍රසාද එළවන ලෙහෙවන් වූ තෙල කිමෙක් දැ?” යි ඇසූ සේක.
9. ඉක්බිති ඒ භික්‍ෂූන් භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැල කළාහු ය. භාග්‍යවත් බුදු රජානන් වහන්සේ “මහණෙනි, ඒ හිස් පුරුෂයාට නුසුදුසු වූවකි. අනුලොම් නුවූවකි. නොගැළපෙන්නකි, ශ්‍රමණසාරුප්‍ය නුවූවකි. කැප නුවූවකි. නොකටයුත්තකි” යි ගැරහූ සේක. “මහණෙනි, ඒ හිස් පුරුෂ තෙමේ කෙසේ නම් හැම මැටිමුවා වූ කිළියක් කළේ ද! මහණෙනි, ඒ හිස් පුරුෂයාට ප්‍රාණීන් කෙරෙහි දයාවක් අනුකම්පාවක් අවිහිංසාවක් නො වූයේ ම ය. මහණෙනි, යවු. තෙල කිළිය බිඳිවු. පශ්චිම ජන තෙමේ ප්‍රාණීන් වැනසීමට නහමක් පැමිණේවා. මහණෙනි, හැම මැටිමුවා කිළියක් නොකටයුතු ය. යමෙක් කරන්නේ නම් දුකුළාඇවැත් වේ”.
10. ඒ භික්‍ෂූහු “වහන්ස, එසේ ය” යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ කිළිය වෙත එළඹ එය බිඳ දැමූහ. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙමේ ඒ භික්‍ෂූන්ට “ඇවැත්නි, තෙපි කුමක් හෙයින් මාගේ කිළිය බිඳිවු දැ?” යි මෙය කී. “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ බිඳවන සේක” යි කීහ. “ඇවැත්නි, ඉදින් දම්රජහු බිඳුවත් නම් බිඳිවු” යි හේ කී ය.
11. ඉක්බිති කුම්භකාරපුත්‍ර වූ ආයුෂ්මත් ධනිය තෙරුන්ට මේ සිත විය. “තෙවෙනි වර තෙක් ගමට පිඬු පිණිස මා පිවිසිය දී තණ ගෙන යන ස්ත්‍රීහු ද දැව ගෙන යන ස්ත්‍රීහු ද තණ කිළිය බිඳ, තණ ද දැව ද රැගෙන ගියාහු ය. මා විසින් හැම මැටිමුවා වූ යම් කිළියක් කරන ලද ද, හේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් බිඳුවන ලදී. රජහුගේ දැව ගබඩාවෙහි වූ දැවමුදලි තෙමේ මාගේ මිත්‍රයෙකි. මම දැව මුදලිගෙන් දැව ඉල්ලා ගෙන දැව මුවා බිත්ති ඇති කිළියක් කරන්නෙම් නම් ඉතා යෙහෙක” යනු යි.