6. සේඛියකාණ්ඩය
ආර්‍ය්‍යාවෙනි මේ සේඛියධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මෙහෙණෝ ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් හඳිත්. මිනිස්සු ලමුකොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්. කෙසේ නම් මෙහෙණෝ කාමභෝගී ගිහියන් මෙන් ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් හැන්දාහුදැයි.
2. භික්‍ෂුණීහු ලමුකොට සිතන නුගුණපවසන දොස්පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් හැන්දාහුදැයි ... සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ ඉදිරිපසුනුදු පසුපසිනුදු එල්වමින් හඳිත්දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි සවග මෙහෙණෝ ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් හැන්දාහුද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි ... මහණෙනි මෙසේ මේ සිකපදය ද මෙහෙණෝ උදෙසත්වා.
පිරිමඬුලු කොට හඳින්නෙමියි හික්මිය යුතු යි.
3. නැබමඬල දණමඬල වසන්නිය විසින් පිරිමඬුලු කොට හැන්ද යුතුයි. යම් මෙහෙණක් අනාදරිය පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳී නම් දුකුළා ඇවැත් වෙයි.
අනාපත්ති: නො සිතා කරන්නියට, නො සිහියෙන් කරන්නියට, නො දන්නියට, ගිලනහට, ආපදායෙහි ... උමතුඇතියාහට, ආදිකම්මිකාවට ඇවැත් නැති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මෙහෙණෝ කාමභෝගී ගිහියන් මෙන් දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කෙරෙත්. මිනිස්සු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කොළෝදැ”යි.
භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කොළෝ දැයි. එකල්හි මෙහෙණෝ මහණුන්හට තෙල කරුණ ඇරොජූහු. මහණහු තෙල කරුණ භාග්‍යවතුන්හට සැලකළහ.
3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහිලා මේ අවසරයෙහිලා බික්සඟන රැස්කරවා දැහැමි කථා කොට මහණුන් පුළුවුත් සේක. සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කෙරෙත්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි සවග මෙහෙණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කොළෝ දැයි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි. … මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම හෝ නොකරන්නෙමි යි හික්මිය යුතු යි.
මෙසේත් වනාහි භාග්‍යවතුන් විසින් මේ සිකපදය මෙහෙණන්හට පනවන ලද්දේ වෙයි.
4. එසමයෙහි ගිලන් වූ මෙහෙණෝ දියෙහි මහදියටනුද සුළුදියටනුද කෙළගැසීම ද කරන්නට කුකුසත්. තෙල කරුණ භාග්‍යවතුන්හට සැලකළහ ... මහණෙනි ගිලන් මෙහෙණහට දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කරන්නට අනුදනිමි. මෙසේද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
නො ගිලන්වැ දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම හෝ නොකරන්නෙමි යි හික්මිය යුතු යි.
5. නො ගිලන විසින් දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම හෝ නොකළ යුතු යි. යම් මෙහෙණක් අනාදරිය පිණිස නොගිලන්වැ දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම හෝ කරා නම් දුකුළා ඇවැත් වේ.