දෙවන – අටවන පිළිදෙස්නී සිකපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මෙහෙණෝ තලතෙල් විනවා වළඳත්. ... මී විනවා වළඳත්. ... උක්පැණි විනවා වළඳත්. ... දියමස් විනවා වළඳත්. ... ගොඩමස් විනවා වළඳත්. ... කිරි විනවා වළඳත්. ... දිහි විනවා වළඳත්. මිනිස්සු ලමුකොට සිතති. නුගුණ පවසති. දොස්පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ දිහි විනවා ගෙන වැළඳූහුදැ” යි. කවරකුහට මිහිරිදැය නොමැනැවිද, කවරකුහට රසවත්දැය නොරුස්නේ දැ යි. භික්ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. කෙසේ නම් සවග මෙහෙණෝ දිහි විනවා වැළඳූහුදැ යි ... සැබෑද මහණෙනි සවග මෙහෙණෝ දිහි විනවා වළඳත්දැයි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු විගැරහූ ... කෙසේ නම් මහණෙනි සවග මෙහෙණෝ දිහි විනවා වැළඳූහුද. මහණෙනි මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් දිහි විනවා වළඳා නම් ඒ මෙහෙණ විසින් ආර්ය්යාවෙනි ගැරහියයුතු වූ නුසුදුසු වූ පිළිදෙස්නට නිසි ඇවැතකට පැමිණියෙමි. එය පිළිදෙසමියි.
මෙසේත් භාග්යවතුන් විසින් මෙහෙණන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි මෙහෙණෝ ගිලන්වූවාහු වෙති. ගිලනුන් පුළුවුස්නා මෙහෙණෝ ගිලන් මෙහෙණන්හට තෙල කරුණ කීහු. “කිමෙක්ද ආර්ය්යාවෙනි ඉවසිය හැකිද කිම යැපියහැකිදැ”යි. “ආර්ය්යාවෙනි, ඇපි පෙරැ දිහි විනවා වළඳමු. එයින් අපට පහසුවෙයි. දැන් වනාහි භාග්යවතුන් විසින් පිළිකෙව් කරනලදැයි කුකුස්කරන්නමෝ නො විනවමු. එයින් අපට පහසු නො වේයැ” යි. තෙල කරුණ භාග්යවතුන් හට ඇරොජූහු. ... මහණෙනි, ගිලන් මෙහෙණහට දිහි විනවා බුදින්නට අනුදනිමි. මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් නොගිලන්වූවා දිහි විනවා වළඳා නම් ඒ මෙහෙණ විසින් ‘ආර්ය්යාවෙනි ගැරහියයුතු වූ නුසුදුසු වූ පිළිදෙස්නට නිසි ඇවැතකට පැමිණියෙමි, එය පිළිදෙසමියි පටිදේසනා කළයුතු යි.
4. යා පන යනු: යම් යම්බඳු ... භික්ඛුනී යනු ... මෝතොමෝ මේ අර්ත්ථයෙහිලා අදහස් කරන ලද මෙහෙණයි.
අගිලානා නම්: යමකට දිහියෙන් වෙන්වැ පහසු වේ නම් හෝ යැ. ගිලානා නම් යමකට දිහියෙන් වෙන්වැ පහසු නො වේ නම් හෝ යැ. තෙල නම් තලතෙල්, අබතෙල්, මීතෙල්, එරඬුතෙල්, වුරුණුතෙල් යැ. මධු නම් මැසිමීයැ, ඵාණිත නම් උක්පැණි යැ. මච්ඡ නම් දියමසයැයි කියනු ලැබේ. මංස නම් යම්කෙනකුන්ගේ මස් කැප නම් ඔවුන්ගේ මස්යැ. ඛීර නම් ගවකිරි හෝ එළුකිරි හෝ මිහිකිරි හෝ යම්කෙනකුන්ගේ මස් කැපනම් ඔවුන්ගේ කිරි යැ. දධි නම් ඔවුන්ගේමැ දිහියැ.
නොගිලන්වූවා තමා උදෙසා විනවා නම් පියෝහි දුකුළා යැ. පිළිලැබීමෙන් වළඳන්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වේ. පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
නොගිලන්වූවා නොගිලන්සන් ඇතිවැ දිහි විනවා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වෙයි. නොගිලන්වූවා විමති ඇතිවැ දිහි විනවා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වෙයි. නොගිලන්වූවා ගිලන්සන් ඇතිවැ දිහි විනවා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වේ.
ගිලන්වූවා නොගිලන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන්වූවා විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන්වූවා ගිලන්සන් ඇතියා නම් ඇවැත් නැති.