පළමු පිළිදෙස්නී සිකපදය
ආර්ය්යාවෙනි, මේ අෂ්ටපාටිදේසනීය ධර්මයෝ උදෙසීමට පැමිණෙත්.
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මෙහෙණෝ ගිතෙල් විනවා වළඳත්. මිනිස්සු ලමුකොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ ගිතෙල් විනවා වැළඳූහු දැ”යි. කවරකුහට මිහිරිදැය නො මැනැවි ද, කවරකුහට රසවත්දැය නො රුස්නේ දැ යි. භික්ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්තති ශබ්දය) ඇසූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමුකොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මෙහෙණෝ ගිතෙල් විනවා වැළඳූහුදැ” යි ... සැබෑද මහණෙනි සවග මෙහෙණෝ ගිතෙල් විනවා වළඳත්දැයි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි සවග මෙහෙණෝ ගිතෙල් විනවා වැළඳූහුද. මහණෙනි මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නොවෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් ගිතෙල් විනවා වළඳා නම් ඒ මෙහෙණ විසින් ආර්ය්යාවෙනි ගැරහිය යුතුවූ නුසුදුසුවූ පිළිදෙස්නට නිසි ඇවතකට පැමිණියෙමි. එය පිළිදෙසමි යි පටිදේසනා කළයුතුයි.
මෙසේත් භාග්යවතුන් විසින් මෙහෙණන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි මෙහෙණෝ ගිලන්වූවාහු වෙති. ගිලනුන් පුළුවුස්නා මෙහෙණෝ ගිලන් මෙහෙණන්හට තෙල කරුණ කීහු. “කිමෙක්ද ආර්ය්යාවෙනි ඉවසියහැකිද යැපිය හැකිදැ” යි. “ආර්ය්යාවෙනි ඇපි පෙරැ ගිතෙල් විනවා වළඳමු. එයින් අපට පහසු වෙයි. දැන් වනාහි භාග්යවතුන් විසින් පිළිකෙව් කරන ලදැයි කුකුස්කරන්නමෝ නො විනවමු. එයින් අපට පහසු නො වේයැ” යි. තෙල කරුණ භාග්යවතුන්හට ඇරොජූහ ... මහණෙනි ගිලන් මෙහෙණහට ගිතෙල් විනවා බුදින්නට අනුදනිමි. මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් නොගිලන්වූවා ගිතෙල් විනවා වළඳා නම් ඒ මෙහෙණ විසින් ආර්ය්යාවෙනි ගැරහියයුතු වූ නුසුදුසු වූ පිළිදෙස්නට නිසි ඇවැතකට පැමිණියෙමි, එය පිළිදෙසමියි.
4. යා පන යනු: යම් යම්බඳු ... භික්ඛුනී යනු ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද මෙහෙණ යි.
අගිලානා නම්: යමකට ගිතෙලින් වෙන්වැ පහසු වේ නම් හෝ යැ. ගිලානා නම්: යමකට ගිතෙලින් වෙන්වැ පහසු නො වේ නම් හෝ යැ. සප්පි නම්: ගව ගිතෙල් හෝ එළු ගිතෙල් හෝ මිහි ගිතෙල් හෝ යි. යම් කෙනෙකුන්ගේ මස් කැප නම් ඔවුන්ගේ ගිතෙල් යැ.
නොගිලන්වූවා තමා උදෙසා විනවා නම් පියෝහි දුකුළා යැ. පිළිලැබීමෙන් වළඳන්නෙමියි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
නොගිලන්වූවා නොගිලන්සන් ඇතිවැ ගිතෙල් විනවා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වෙයි. නොගිලන්වූවා විමති ඇතිවැ ගිතෙල් විනවා වළඳා නම් පිළිදෙස්නී ඇවැත් වෙයි. නොගිලන්වූවා ගිලන්සන් ඇතිවැ ගිතෙල් විනවා නම් පිළිදෙස්නී ඇවැත් වේ.
ගිලන්වූවා නොගිලන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන්වූවා විමතිඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන්වූවා ගිලන්සන් ඇතියා නම් ඇවැත් නැති.
අනාපත්ති: ගිලනහට ගිලනක්වැ විනවා නොගිලනක්වැ වළඳා නම්, ගිලනගේ ශේෂය වළඳා නම්, නෑයන්ගේ, පෑවරියන්ගේ, අනෙකක්හු උදෙසා නම්, තමාගේ ධනයෙන්, උන්මත්තිකාවට, ආදිකම්මිකාවට ඇවැත් නැති.
පළමු පිළිදෙස්නී සිකපදය නිමි.
දෙවන – අටවන පිළිදෙස්නී සිකපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මෙහෙණෝ තලතෙල් විනවා වළඳත්. ... මී විනවා වළඳත්. ... උක්පැණි විනවා වළඳත්. ... දියමස් විනවා වළඳත්. ... ගොඩමස් විනවා වළඳත්. ... කිරි විනවා වළඳත්. ... දිහි විනවා වළඳත්. මිනිස්සු ලමුකොට සිතති. නුගුණ පවසති. දොස්පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ දිහි විනවා ගෙන වැළඳූහුදැ” යි. කවරකුහට මිහිරිදැය නොමැනැවිද, කවරකුහට රසවත්දැය නොරුස්නේ දැ යි. භික්ෂුණීහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. කෙසේ නම් සවග මෙහෙණෝ දිහි විනවා වැළඳූහුදැ යි ... සැබෑද මහණෙනි සවග මෙහෙණෝ දිහි විනවා වළඳත්දැයි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු විගැරහූ ... කෙසේ නම් මහණෙනි සවග මෙහෙණෝ දිහි විනවා වැළඳූහුද. මහණෙනි මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.