4. 9. 8-10.
අට–නව–දසවන සිකපද
1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු ශික්‍ෂමාණාවක ලවා ඇඟ ඉළීම ද කරවති. සම්බාහන ද කරවත් ... හෙරැණියක ලවා ඇඟ ඉළීම ද කරවති. සම්බාහන ද කරවත් ... ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද කරවති. සම්බාහන ද කරවත්. මිනිස්සු විහාරචාරිකා කරන්නාහු දැක අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහීකාමභෝගිනීන් මෙන් ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවූහු දැ” යි. මෙහෙණහු අවමන් කොට සිතන නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පෙච්ඡ වූවාහු ... ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති. දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවූහු දැ” යි ... “සැබෑ ද මහණෙනි, මෙහෙණහු ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවත් ලැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු ගෘහිණිය ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවූහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ශික්‍ෂමානාවක ... හෙරණියක ... ගෘහිණියක ලවා ඇඟ ඉළීම කරවන්නී නම් හෝ සම්බාහන කරවන්නී නම් හෝ පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
සික්ඛමානා නම්: දෑවුරුද්දක් සවැදෑරුම් ධර්‍මයෙහි හික්මුණු ශික්‍ෂා ඇත්තී.
සාමණේරා නම්: දශ ශික්‍ෂාපද ඇත්තී.
ගිහීනි නම්: ගෘහිණී කියනු ලැබේ.
උම්මද්දාපෙය්‍ය වා යනු: ඇඟ ඉළීම කරවානම් පචිති ඇවැත් වෙයි.
පරිමද්දාපෙය්‍ය වා යනු: සම්බාහන කරවා නම් පචිති ඇවැත් වේ.
අනාපත්ති: ගිලන් වූවාට ද ආපදායෙහි ද උමතු වූවාට ද ... ආදිකම්මික වූවාට ද ඇවැත් නැති.
අට–නව–දසවැනි ශික්‍ෂාපද යි.
4. 9. 11.
එකොළොස්වන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු මහණකු ඉදිරියෙහි නො විචාරා අසුන්හි හිඳගනිති. මහණහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු මහණකු ඉදිරියෙහි නො විචාරා අසුන්හි හුන්හු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණහු මහණක්හු පෙරට වැ නො විචාරා අසුන්හි හිඳිත් ලැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු මහණක්හු පෙරට වැ නො විචාරා අසුන්හි හුන්හු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් මහණක්හු පෙරට වැ නො විචාරා අස්නෙකැ හිඳගන්නී නම් පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු : යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
භික්ඛුස්ස පුරතො යනු: උපසපනක්හු පෙරට වැ.
අනුපුච්ඡා යනු: අපලෝකන නො කොට.
ආසනෙ නිසීදෙය්‍ය යනු: යටත් පිරිසෙයින් බිම ද හිඳී නම් පචිති ඇවැත් වේ.
නො විචාළ කල්හි නො විචාළ සංඥා ඇති වැ අස්නෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි. නො විචාළ කල්හි විමති ඇති වැ අස්නෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි. නො විචාළ කල්හි විචාළ සංඥා ඇති වැ අස්නෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි.
විචාළ කල්හි නො විචාළ සංඥා ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. විචාළ කල්හි විමති ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. විචාළ කල්හි විචාළ සංඥා ඇති වී නම් ඇවැත් නැති.
අනාපත්ති: විචාරා අස්නෙහි හිඳී ද ගිලන් වූවාට ද ආපදායෙහි ද උමතු වූවාට ද ... ආදිකම්මික වූවාට දඇවැත් නැති.
එකොළොස්වැනි ශික්‍ෂාපද යි.