4. 9. 11.
එකොළොස්වන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු මහණකු ඉදිරියෙහි නො විචාරා අසුන්හි හිඳගනිති. මහණහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු මහණකු ඉදිරියෙහි නො විචාරා අසුන්හි හුන්හු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණහු මහණක්හු පෙරට වැ නො විචාරා අසුන්හි හිඳිත් ලැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු මහණක්හු පෙරට වැ නො විචාරා අසුන්හි හුන්හු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් මහණක්හු පෙරට වැ නො විචාරා අස්නෙකැ හිඳගන්නී නම් පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු : යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
භික්ඛුස්ස පුරතො යනු: උපසපනක්හු පෙරට වැ.
අනුපුච්ඡා යනු: අපලෝකන නො කොට.
ආසනෙ නිසීදෙය්‍ය යනු: යටත් පිරිසෙයින් බිම ද හිඳී නම් පචිති ඇවැත් වේ.
නො විචාළ කල්හි නො විචාළ සංඥා ඇති වැ අස්නෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි. නො විචාළ කල්හි විමති ඇති වැ අස්නෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි. නො විචාළ කල්හි විචාළ සංඥා ඇති වැ අස්නෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි.
විචාළ කල්හි නො විචාළ සංඥා ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. විචාළ කල්හි විමති ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. විචාළ කල්හි විචාළ සංඥා ඇති වී නම් ඇවැත් නැති.
අනාපත්ති: විචාරා අස්නෙහි හිඳී ද ගිලන් වූවාට ද ආපදායෙහි ද උමතු වූවාට ද ... ආදිකම්මික වූවාට දඇවැත් නැති.
එකොළොස්වැනි ශික්‍ෂාපද යි.
4. 9. 12.
දොළොස්වන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු අවකාශ නො කළ මහණහු අතින් පැන පුළුවුස්ති. මහණහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු නො කළ අවකාශ ඇති මහණහු අතින් පැන පිළිවිසියාහු දැ”යි ... ‘සැබෑ ද මහණෙනි, මෙහෙණහු නො කළ අවකාශ ඇති මහණහු අතින් පැන පුළුවුසිත් ලැ’යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු නො කළ අවකාශ ඇති මහණහු අතින් පැන පිළිවිසියාහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් නො කළ අවකාශ ඇති මහණක්හු අතින් පැන පුළුවුස්නී නම් පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
අනෝකාසකතං යනු: නො විචාරා.
භික්ඛුං යනු: උපසපනක්හු.
පඤ්හං පුච්ඡෙය්‍ය යනු: සූත්‍රාන්තයෙහි අවකාශ කරවා විනය හෝ අභිධර්‍මය හෝ පුළුවුසි නම් පචිති ඇවැත් වෙයි. විනයෙහි අවකාශ කරවා සූත්‍රාන්තය හෝ අභිධර්‍මය හෝ පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි. අභිධර්‍මයෙහි අවකාශ කරවා සූත්‍රාන්තය හෝ විනය හෝ පුළුවුසී නම් පචිති ඇවැත් වේ.
අවකාශ නො කළ කල්හි අවකාශ නො කළ සංඥා ඇති වැ පැන පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි. අවකාශ නො කළ කල්හි විමති ඇති වැ පැන පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි. අවකාශ නො කළ කල්හි අවකාශ කළ සංඥා ඇතිවැ පැන පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි.
අවකාශ කළ කල්හි අවකාශ නො කළ සංඥා ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. අවකාශ කළ කල්හි විමති ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. අවකාශ කළ කල්හි අවකාශ කළ සංඥා ඇති වී නම් ඇවැත් නැති.
අනාපත්ති: අවකාශ කරවා පුළුවුසී ද, අවධි නො කොට, අවකාශ කරවා යම් කිසි තැනෙක පුළුවුසී ද, උමතු වූවාට ද ... ආදි කම්මික වූවාට ද ඇවැත් නැති.
දොළොස්වැනි ශික්‍ෂාපද යි.