4. 9. 12.
දොළොස්වන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු අවකාශ නො කළ මහණහු අතින් පැන පුළුවුස්ති. මහණහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු නො කළ අවකාශ ඇති මහණහු අතින් පැන පිළිවිසියාහු දැ”යි ... ‘සැබෑ ද මහණෙනි, මෙහෙණහු නො කළ අවකාශ ඇති මහණහු අතින් පැන පුළුවුසිත් ලැ’යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු නො කළ අවකාශ ඇති මහණහු අතින් පැන පිළිවිසියාහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් නො කළ අවකාශ ඇති මහණක්හු අතින් පැන පුළුවුස්නී නම් පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
අනෝකාසකතං යනු: නො විචාරා.
භික්ඛුං යනු: උපසපනක්හු.
පඤ්හං පුච්ඡෙය්‍ය යනු: සූත්‍රාන්තයෙහි අවකාශ කරවා විනය හෝ අභිධර්‍මය හෝ පුළුවුසි නම් පචිති ඇවැත් වෙයි. විනයෙහි අවකාශ කරවා සූත්‍රාන්තය හෝ අභිධර්‍මය හෝ පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි. අභිධර්‍මයෙහි අවකාශ කරවා සූත්‍රාන්තය හෝ විනය හෝ පුළුවුසී නම් පචිති ඇවැත් වේ.
අවකාශ නො කළ කල්හි අවකාශ නො කළ සංඥා ඇති වැ පැන පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි. අවකාශ නො කළ කල්හි විමති ඇති වැ පැන පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි. අවකාශ නො කළ කල්හි අවකාශ කළ සංඥා ඇතිවැ පැන පුළුවුසී නම් පචිති ඇවැත් වෙයි.
අවකාශ කළ කල්හි අවකාශ නො කළ සංඥා ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. අවකාශ කළ කල්හි විමති ඇති වී නම් දුකුළා ඇවැත් වෙයි. අවකාශ කළ කල්හි අවකාශ කළ සංඥා ඇති වී නම් ඇවැත් නැති.
අනාපත්ති: අවකාශ කරවා පුළුවුසී ද, අවධි නො කොට, අවකාශ කරවා යම් කිසි තැනෙක පුළුවුසී ද, උමතු වූවාට ද ... ආදි කම්මික වූවාට ද ඇවැත් නැති.
දොළොස්වැනි ශික්‍ෂාපද යි.
4. 9. 13.
තෙළෙස්වන සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි එක්තරා මෙහෙණක් සඞ්කච්චිකා (සැට්ටය) රහිත වැ පිඬු පිණිස ගමට වන. වීථියෙහි වාසුළි ඇගේ සඟළ සිවුරු නඟාලී යැ. මිනිස්සු ආර්‍ය්‍යාවගේ පයෝධර හා උදරය සුන්‍දර යැ යි ඔල්වරසන් නැඟූහ. ඒ මෙහෙණ ඒ මිනිසුන් විසින් කෙළිකවට කරනු ලබන්නී මකු වූ ය. ඉක්බිති ඒ මෙහෙණ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණ දැන්වූ. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණ සඞ්කච්චිකා රහිත වැ ගමට පිවිසියා දැ”යි. –පෙ– සැබෑ ද මහණෙනි, මෙහෙණක් සඞ්කච්චිකා රහිත වැ ගමට පිවිසියා දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූව ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් සඞ්කච්චිකා රහිත වැ ගමට පිවිසියා ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් සඞ්කච්චිකා රහිත වැ ගම් වදී නම් පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
අසඞ්කච්චිකා යනු: සඞ්කච්චිකාව නැති වැ.
සඞ්කච්චිකා නම්: අකු ඇටින් යට, නාභියෙන් උඩ. එය වසනු සඳහා.
ගාමං පවිසෙය්‍ය යනු: පිරිකෙව් කරන ලද ගම්හි පිරිකෙව් ඉක්මවන්නියට පචිති ඇවැත් වෙයි. පිරිකෙව් නොකළ ගම්හි උපචාරයට බැසගන්නියට පචිති ඇවැත්වෙ යි.
අනාපත්ති: අසිඳැගත් සිවුරු ඇතියාට, නට සිවුරු ඇතියාට, ගිලන් වූවාට, නොසිහියෙන් ගියාට, නොදන්නියට, ආපදායෙහි, උමතු වූවාට, ... ආදිකම්මික වූවාට ද ඇවැත් නැති.
තෙළෙස් වැනි ශික්‍ෂාපද යි.
නවවැනි ඡත්තුපාහන වර්‍ග යි.
ආර්‍ය්‍යාවෙනි, එක්සිය සසැටක් පාචිත්තිය ධර්‍මයෝ උදෙසන ලදහ. එහි ලා ආර්‍ය්‍යාවන් පුළුවුස්මි. කිම පිරිසුදු වූහු ද? දෙවනවට ද පුළුවුස්මි. කිම පිරිසුදු වූහු ද? තෙවනවට ද පුළුවුස්මි. කිම පිරිසුදු වූහු ද? මෙහිලා ආර්‍ය්‍යාවෝ පිරිසුදු වෙති. එහෙයින් තූෂ්ණිම්භූතයහ. තෙල මෙසේ ධරමි’යි.