4. 9. 7.
සත්වන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද කරවති, සම්බාහන ද කරවත්. මිනිස්සු විහාරචාරිකා කරන්නාහු දැක අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් මෙහෙණක ලවා ඇඟ ඉලීම ද, සම්බාහන ද කරවූහු දැ යි. මෙහෙණහු අවමන් කොට සිතන නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහුද ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද සම්බාහන ද කරවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද සම්බාහන ද කරවත් ලැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද සම්බාහන ද කරවූහු දැ යි. මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් මෙහෙණක ලවා ඇඟ ඉලීම කරවන්නී නම් හෝ සම්බාහන කරවන්නී නම් හෝ පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්‍ෂුණී යි.
භික්ඛුනියා යනු: අන් මෙහෙණක ලවා.
උම්මද්දාපෙය්‍ය වා යනු: ඇඟ උළවා නම් පචිති ඇවැත් වෙයි.
පරිමද්දාපෙය්‍ය වා යනු: සම්බාහන කරවා නම් පචිති ඇවැත් වේ.
අනාපත්ති: ගිලන් වූවාට ද ආපදායෙහි ද උමතු වූවාට ද ... ආදිකම්මික වූවාට ද ඇවැත් නැති.
සත්වැනි ශික්‍ෂාපද යි.
4. 9. 8-10.
අට–නව–දසවන සිකපද
1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු ශික්‍ෂමාණාවක ලවා ඇඟ ඉළීම ද කරවති. සම්බාහන ද කරවත් ... හෙරැණියක ලවා ඇඟ ඉළීම ද කරවති. සම්බාහන ද කරවත් ... ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද කරවති. සම්බාහන ද කරවත්. මිනිස්සු විහාරචාරිකා කරන්නාහු දැක අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහීකාමභෝගිනීන් මෙන් ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවූහු දැ” යි. මෙහෙණහු අවමන් කොට සිතන නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පෙච්ඡ වූවාහු ... ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති. දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවූහු දැ” යි ... “සැබෑ ද මහණෙනි, මෙහෙණහු ගෘහිණියක ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවත් ලැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු ගෘහිණිය ලවා ඇඟ ඉළීම ද සම්බාහන ද කරවූහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ශික්‍ෂමානාවක ... හෙරණියක ... ගෘහිණියක ලවා ඇඟ ඉළීම කරවන්නී නම් හෝ සම්බාහන කරවන්නී නම් හෝ පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
සික්ඛමානා නම්: දෑවුරුද්දක් සවැදෑරුම් ධර්‍මයෙහි හික්මුණු ශික්‍ෂා ඇත්තී.
සාමණේරා නම්: දශ ශික්‍ෂාපද ඇත්තී.
ගිහීනි නම්: ගෘහිණී කියනු ලැබේ.