4. 9. 6.
සවන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි සවග මෙහෙණහු සුවඳ කැවූ තල මුරුවටයෙන් ස්නාන කෙරෙති. මිනිස්සු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහීකාමභෝගිනීන් මෙන් සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කළාහු දැ”යි. මෙහෙණහු අවමන් කොට සිතන නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කළාහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කෙරෙත් ලැයි.
සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... මහණෙනි, කෙසේ නම් සවග මෙහෙණහු සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කළාහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි මෙහෙණහු, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කෙරේ නම් පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
වාසිතක නම්: යම් කිසි සුවඳකවන ලද්දකි.
පිඤ්ඤාක නම්: තලපිටි යයි කියනු ලැබේ.
නහායෙය්‍ය යනු: ස්නාන කෙරෙයි. ප්‍රයෝගයෙහි දුකුළා ඇවැත් වෙයි. ස්නාන කෙළවර පචිති ඇවැත් වේ.
අනාපත්ති: ආබාධ හේතුයෙන් ඇවැත් නැත. පියවි මුරුවටයෙන් ස්නාන කෙරේ ද, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සවැනි ශික්‍ෂාපද යි.
4. 9. 7.
සත්වන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද කරවති, සම්බාහන ද කරවත්. මිනිස්සු විහාරචාරිකා කරන්නාහු දැක අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් මෙහෙණක ලවා ඇඟ ඉලීම ද, සම්බාහන ද කරවූහු දැ යි. මෙහෙණහු අවමන් කොට සිතන නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහුද ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද සම්බාහන ද කරවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද සම්බාහන ද කරවත් ලැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණහු මෙහෙණක ලවා ඇඟ ඉලීම ද සම්බාහන ද කරවූහු දැ යි. මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් මෙහෙණක ලවා ඇඟ ඉලීම කරවන්නී නම් හෝ සම්බාහන කරවන්නී නම් හෝ පචිති ඇවැත් වේ” යයි.