4. 9. 3.
තුන්වන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි එක්තරා මෙහෙණක් එක්තරා ස්ත්‍රියකට කුලුපග වෙයි. එසද ඒ ස්ත්‍රී ඒ මෙහෙණට තෙල කරුණ කිව: “ඉඳ ආර්‍ය්‍යාවෙනි, මේ සඞ්ඝාණිය (කටී පලඳනාව) අසුවල් ස්ත්‍රියට දෙව”යි එසඳ ඒ මෙහෙණ ඉදින් මම පාත්‍රයෙන් ගෙන යන්නෙම් නම් මට නො සිහි වන්නේ යයි පැළඳගෙන ගියා යැ. වීථියෙහි දී එහි හුය සිඳුණු කල්හි මිණි විසිරිණ. මිනිස්සු ලමු කොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් සඞ්ඝාණිය ධැරූහු දැ”යි. ඒ මෙහෙණ ඒ මිනිසුන් විසින් කෙළිකවට කරනු ලබන්නී මකු වූයැ. ඉක්බිති ඒ මෙහෙණ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණ දැන්වූ යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු ලමු කොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් සඞ්ඝාණිය දැරූ දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණක් සඞ්ඝාණිය දැරූ ලැ’යි. සැබෑ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ ... මහණෙනි, කෙසේ නම් මෙහෙණක් සඞ්ඝාණිය දැරූ ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ ... මහණෙනි මෙහෙණහු, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් සඞ්ඝාණිය ධරා නම් පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
සඞ්ඝාණි නම්: යම් කිසි කටී පලඳනාවකි.
ධාරෙති යනු: වරකුදු ධරා නම් පචිති ඇවැත් වේ.
අනාපත්ති: ආබාධ හේතුයෙන් කටීසූත්‍ර ධරා නම් ඇවැත් නැත. උමතුවූවාට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
තුන්වැනි ශික්‍ෂාපද යි.
4. 9. 4.
සතරවන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි සවග මෙහෙණහු ස්ත්‍රී අලඞ්කාර ධරති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ස්ත්‍රී අලංකාර දැරූහු දැ”යි. මෙහෙණහු ඒ ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු ස්ත්‍රී අලංකාර දැරූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු ස්ත්‍රී අලංකාර දරත්ලැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. බුදුහු ගැරැහූ ... මහණෙනි, කෙසේ නම් සවග මෙහෙණහු ස්ත්‍රී අලංකාර දැරූහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ස්ත්‍රී අලංකාර දරා නම් පචිති ඇවැත් වේ” යි.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
ඉත්‍ථාලඞ්කාර නම්: හිසැ පළඳනා යැ, ගෙල පළඳනා යැ, අත්පළඳනා යැ, පා පළඳනා යැ, කටී පළඳනා යි.
ධාරෙය්‍ය යනු: වරකුදු දරා නම් පචිති ඇවැත් වේ.
අනාපත්ති: ආබාධ හේතුයෙන් ඇවැත් නැති. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සතර වැනි ශික්‍ෂාපද යි.