4. 9. 4.
සතරවන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි සවග මෙහෙණහු ස්ත්‍රී අලඞ්කාර ධරති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ස්ත්‍රී අලංකාර දැරූහු දැ”යි. මෙහෙණහු ඒ ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු ස්ත්‍රී අලංකාර දැරූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු ස්ත්‍රී අලංකාර දරත්ලැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. බුදුහු ගැරැහූ ... මහණෙනි, කෙසේ නම් සවග මෙහෙණහු ස්ත්‍රී අලංකාර දැරූහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ස්ත්‍රී අලංකාර දරා නම් පචිති ඇවැත් වේ” යි.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
ඉත්‍ථාලඞ්කාර නම්: හිසැ පළඳනා යැ, ගෙල පළඳනා යැ, අත්පළඳනා යැ, පා පළඳනා යැ, කටී පළඳනා යි.
ධාරෙය්‍ය යනු: වරකුදු දරා නම් පචිති ඇවැත් වේ.
අනාපත්ති: ආබාධ හේතුයෙන් ඇවැත් නැති. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සතර වැනි ශික්‍ෂාපද යි.
4. 9. 5.
පස්වන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි සවග මෙහෙණහු සුවඳින් හා පැහැගන්වන දැයින් යුතු වැ ස්නාන කෙරෙති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කළාහු දැ”යි. මෙහෙණහු ඒ ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කළාහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කෙරෙත් ලැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... “කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණහු ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කළාහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ගන්‍ධවර්‍ණකයෙන් ස්නාන කෙරේ නම් පචිති ඇවැත් වේ” යයි.
2. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්‍ත්‍ථයෙහි අභිප්‍රේත භික්ඛුනී යි.
ගන්‍ධ නම්: යම් කිසි ගඳෙකි.
වණ්ණක නම්: යම් කිසි වර්‍ණයෙකි.
නහායෙය්‍ය යනු: ස්නාන කෙරෙයි. ප්‍රයෝගයෙහි දුකුළා ඇවැත් වෙයි. ස්නාන කෙළවර පචිති ඇවැත් වේ.
අනාපත්ති: ආබාධ හේතුයෙන් ඇවැත් නැත. උමතු වූවාට ... ආදිකම්මික වූවාට ඇවැත් නැති.
පස්වැනි ශික්‍ෂාපද යි.
4. 9. 6.
සවන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි සවග මෙහෙණහු සුවඳ කැවූ තල මුරුවටයෙන් ස්නාන කෙරෙති. මිනිස්සු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහීකාමභෝගිනීන් මෙන් සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කළාහු දැ”යි. මෙහෙණහු අවමන් කොට සිතන නුගුණ කියන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු අවමන් කොට සිතති, නුගුණ කියති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කළාහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නාන කෙරෙත් ලැයි.