4. 9. 2.
දෙවන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි සවග මෙහෙණහු යානයෙන් යෙති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් යානයෙන් ගියාහු දැ”යි. මෙහෙණහු ඒ ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු යානයෙන් ගියාහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු යානයෙන් යෙත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරැහූ ... මහණෙනි, කෙසේ නම් සවග මෙහෙණහු යානයෙන් ගියාහු ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් යානයෙන් යේ නම් පචිති ඇවැත් වේ”යයි.
භාග්‍යවතුන් විසින් මෙසේත් මේ ශික්‍ෂාපදය මෙහෙණන්ට පනවන ලද වෙයි.
2. එසමයෙහි එක්තරා මෙහෙණක් ගිලන් වූවා වෙයි. පයින් යන්නට නො හැකි වෙයි. භාග්‍යවතුන්ට මෙකරුණ දැන්වූහ ... මහණෙනි, ගිලන් මෙහෙණට යානය අනුදනිමි. මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් නො ගිලන් වැ යානයෙන් යේ නම් පචිති ඇවැත් වේ” යයි.
3. යා පන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු: ... මෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අභිප්‍රේත භික්‍ෂුණි යි.
අගිලාන නම්: පයින් යන්නට හැකි වෙයි.
ගිලාන නම්: පයින් යන්නට නොහැකි වෙයි.
යාන නම්: වය්හ යැ රථ යැ ශකට යැ ස්‍යන්‍දමානිකා යැ සිවිකා යැ පාටඞ්ක යි.
යායෙය්‍ය යනු: වරකුදු යානයෙන් යේ නම් පචිති ඇවැත් වේ.
නො ගිලන් වූවා නොගිලන් සන් ඇති වැ යානයෙන් යේ නම් පචිති ඇවැත් වෙයි. නො ගිලන් වූවා විමති ඇති වැ යානයෙන් යේ නම් පචිති ඇවැත් වෙයි. නොගිලන් වූවා ගිලන්සන් ඇති වැ යේ නම් පචිති ඇවැත් වෙයි. ගිලන් වූවා නොගිලන් සන් ඇති වැ යේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා විමති ඇති වැ යේ නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා ගිලන් සන් ඇති වැ යේ නම් ඇවැත් නැති.
අනාපත්ති: ගිලන් වූවාට ද ආපදායෙහි ද උමතු වූවාට ද ... ආදිකම්මික වූවාට ද ඇවැත් නැති.
දෙවැනි ශික්‍ෂාපද යි.
4. 9. 3.
තුන්වන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි එක්තරා මෙහෙණක් එක්තරා ස්ත්‍රියකට කුලුපග වෙයි. එසද ඒ ස්ත්‍රී ඒ මෙහෙණට තෙල කරුණ කිව: “ඉඳ ආර්‍ය්‍යාවෙනි, මේ සඞ්ඝාණිය (කටී පලඳනාව) අසුවල් ස්ත්‍රියට දෙව”යි එසඳ ඒ මෙහෙණ ඉදින් මම පාත්‍රයෙන් ගෙන යන්නෙම් නම් මට නො සිහි වන්නේ යයි පැළඳගෙන ගියා යැ. වීථියෙහි දී එහි හුය සිඳුණු කල්හි මිණි විසිරිණ. මිනිස්සු ලමු කොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් සඞ්ඝාණිය ධැරූහු දැ”යි. ඒ මෙහෙණ ඒ මිනිසුන් විසින් කෙළිකවට කරනු ලබන්නී මකු වූයැ. ඉක්බිති ඒ මෙහෙණ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණ දැන්වූ යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පේච්ඡ වූවාහු ... ඔහු ලමු කොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් සඞ්ඝාණිය දැරූ දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණක් සඞ්ඝාණිය දැරූ ලැ’යි. සැබෑ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ ... මහණෙනි, කෙසේ නම් මෙහෙණක් සඞ්ඝාණිය දැරූ ද? මහණෙනි, තෙල කරුණ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදයට හෝ ... මහණෙනි මෙහෙණහු, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් සඞ්ඝාණිය ධරා නම් පචිති ඇවැත් වේ” යයි.