4. 9. 1.
පළමු සිකපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මෙහෙණහු ඡත්ර හා වහන් ධරති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ඡත්ර හා වහන් ධැරූහු දැ”යි. මෙහෙණහු ඒ ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අල්පෙච්ඡ වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් ඡත්ර හා වහන් ධැරූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු ඡත්ර හා වහන් ධරත් ලැයි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගර්හා කළහ ... මහණෙනි, “කෙසේ නම් සවග මෙහෙණහු ඡත්ර හා වහන් ධැරූහු දැ”යි. මහණෙනි, තෙල කරුණ අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක ඡත්ර හා වහන් ධරා නම් පචිති වේ” යයි.
භාග්යවතුන් විසින් මෙසේත් මේ සිකපදය මෙහෙණන්ට පනවන ලද්දේ වෙයි.
2. එසමයෙහි එක්තරා මෙහෙණක් ගිලන් වූවා වෙයි. ඇයට ඡත්ර හා වහන් නැති වැ පහසු නො වෙයි. භාග්යවතුන්ට මෙකරුණ දැන්වූහ ... “මහණෙනි, ගිලන් මෙහෙණට ඡත්ර හා වහන් අනුදනිමි”. මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් නො ගිලන්වැ ඡත්ර හා වහන් ධරා නම් පචිති වේ” යයි.
3. යාපන යනු: යම්, යම් බඳු ... භික්ඛුනී යනු ... මෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
අගිලානා නම්: යමකට ඡත්ර හා වහන් නැති වැ පහසු වේ ද ඕ තොමෝ ය.
ගිලානා නම්: යමකට ඡත්ර හා වහන් නැති වැ පහසු නො වේ ද ඕ තොමෝ ය.
ඡත්ත නම්: මඩු බැඳි ලහබැඳි සේසත යැ, කළාල්සත යැ, පත්සතැ යි ඡත්ර තුනෙකි.
ධාරෙය්ය යනු : වරකුදු ධරා නම් පචිති ඇවැත් වේ.
නො ගිලන් වූවා නො ගිලන් සන් ඇති වැ ඡත්ර හා වහන් ධරා නම් පචිති ඇවැත් වෙයි. නො ගිලන් වූවා විමති ඇති වැ ඡත්ර හා වහන් ධරා නම් පචිති ඇවැත් වෙයි. නො ගිලන් වූවා ගිලන් සන් ඇති වැ ඡත්ර හා වහන් ධරා නම් පචිති ඇවැත් වෙයි.
ඡත්ර ධරා නම් වහන් නො ධරා නම් දුකුළා ඇවැත් වෙයි. වහන් ධරා නම් ඡත්ර නො ධරා නම් දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා නො ගිලන් සන් ඇත්තී දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා විමති ඇත්තී දුකුළා ඇවැත් වෙයි. ගිලන් වූවා ගිලන් සන් ඇත්තී ඇවැත් නැති.
අනාපත්ති: ගිලන් වූවාට ද ආරාමයෙහි ආරාමූපචාරයෙහි ධරා නම් ඇයට ද ආපදායෙහි ද උම්මත්තිකාවට ද. ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පළමු වැනි ශික්ෂාපද යි.
4. 9. 2.
දෙවන සිකපදය
1. සැවැත්නිදාන යි – එසමයෙහි සවග මෙහෙණහු යානයෙන් යෙති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණහු ගිහී කාමභෝගිනීන් මෙන් යානයෙන් ගියාහු දැ”යි. මෙහෙණහු ඒ ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන මිනිසුන්ගේ බස් ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණහු යානයෙන් ගියාහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණහු යානයෙන් යෙත් දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරැහූ ... මහණෙනි, කෙසේ නම් සවග මෙහෙණහු යානයෙන් ගියාහු ද? මහණෙනි, තෙල කරුණ අප්රසන්නයන්ගේ ප්රසාදයට හෝ ... මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් යානයෙන් යේ නම් පචිති ඇවැත් වේ”යයි.
භාග්යවතුන් විසින් මෙසේත් මේ ශික්ෂාපදය මෙහෙණන්ට පනවන ලද වෙයි.
2. එසමයෙහි එක්තරා මෙහෙණක් ගිලන් වූවා වෙයි. පයින් යන්නට නො හැකි වෙයි. භාග්යවතුන්ට මෙකරුණ දැන්වූහ ... මහණෙනි, ගිලන් මෙහෙණට යානය අනුදනිමි. මහණෙනි, මෙහෙණහු මෙසේත් මේ ශික්ෂාපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් නො ගිලන් වැ යානයෙන් යේ නම් පචිති ඇවැත් වේ” යයි.