4. 8. 9.
නවවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනීගිය සැඬ වූ සෝ දනවන හික්මනුවක උපසපන් කරවයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය ථුල්ලනන්දා තොමෝ පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනීගිය සැඬ වූ සෝ දනවන හික්මනුවක උපසපන් කරවූ දැ”යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනී ගිය සැඬ වූ සෝ දනවන හික්මනුවක උපසපන් කරවූ දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනීගිය සැඬ වූ සෝ දනවන හික්මනුවක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක්, පිරිම්නියක්හු හා හැනීගිය කුමරුවන් හා හැනීගිය සැඬවූ සෝ දනවන හික්මනුවක උපසපන්කරවා නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
පුරිස නම්: පැමිණි විසිවස් ඇතියේ යැ.
කුමාරක නම්: නො පැමිණි විසිවස් ඇතියේ යැ.
සංසට්ඨා නම්: අනුලොම් නො වූ කායික වාචසිකයෙන් මුසුවූවා යැ.
චණ්ඩී නම්: කිපෙනසුලු වූවා කියන ලැබෙයි.
සෝකවස්සා නම්: මෙරමාහට දුක් උපදවයි, සෝ පිවිස්වයි.
සික්ඛමානා නම්: දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
වුට්ඨාපෙය්ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම් වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
නො දන්නී උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවවන සිකපද යි.
4. 8. 10.
දසවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුවක උපසපන් කරවයි. දෙමාපියෝ ද හිමියා ද ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ අප විසින් නො අනුදත් සික්මනුව උපසපන් කරවූ දැ”යි. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන දෙමාපියන්ගේ ද හිමියාගේ ද (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුව උපසපන් කරවූ” දැ යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුව උපසපන් කරවා දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුව උපසපන් කරවූ ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් දෙමාපියන් විසින් හෝ හිමියා විසින් හෝ නො අනුදත් හික්මනුව උපසපන් කරවා නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
මාතාපිතරො නම්: ජනකයෝ කියනු ලැබෙත්.
සාමික නම්: යමක්හු විසින් පරිගෘහිත වෙයි.
අනනුඤ්ඤාතා: නො පිළිවිසැ.
සික්ඛමානා නම්: දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
වුට්ඨාපෙය්ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
නො දන්නී උපසපන් කරවා නම්, පිළිවිසැ උපසපන් කරවා නම් ඇවැත් නැත, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසවන සිකපද යි.