4. 8. 10.
දසවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුවක උපසපන් කරවයි. දෙමාපියෝ ද හිමියා ද ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ අප විසින් නො අනුදත් සික්මනුව උපසපන් කරවූ දැ”යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන දෙමාපියන්ගේ ද හිමියාගේ ද (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුව උපසපන් කරවූ” දැ යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුව උපසපන් කරවා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දෙමාපියන් විසිනුදු හිමියා විසිනුදු නො අනුදත් සික්මනුව උපසපන් කරවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් දෙමාපියන් විසින් හෝ හිමියා විසින් හෝ නො අනුදත් හික්මනුව උපසපන් කරවා නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
මාතාපිතරො නම්: ජනකයෝ කියනු ලැබෙත්.
සාමික නම්: යමක්හු විසින් පරිගෘහිත වෙයි.
අනනුඤ්ඤාතා: නො පිළිවිසැ.
සික්ඛමානා නම්: දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
නො දන්නී උපසපන් කරවා නම්, පිළිවිසැ උපසපන් කරවා නම් ඇවැත් නැත, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසවන සිකපද යි.
4. 8. 11.
එකොළොස්වන සිකපදය
1. එසමයෙහි වනාහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වේළුවන වෙහෙරෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ හික්මනුවක උපසපන් කරවන්නෙමි යි ස්ථවිර භික්‍ෂූන් රැස් කරවා බොහෝ කෑ යුතු බිදිය යුතු දෑ බලා “ආර්‍ය්‍යාවෙනි, එතෙක් මම හික්මනුව උපසපන් නො කරවන්නෙමි”යි ස්ථවිර භික්‍ෂූන් නඟා යවා දේවදත්ත යැ කෝකාලිකයැ කටමොරකතිස්ස යැ ඛණ්ඩදෙවි පුත්‍ර යැ සමුද්දදත්ත යැ (යන මොවුන්) රැස් කරවා හික්මනුව උපසපන් කරවූ යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ පිරිවෙස් සැඳ දීමෙන් හික්මනුව උපසපන් කරවූ දැ”යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පිරිවෙස් සැඳ දීමෙන් හික්මනුව උපසපන් කරවූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පිරිවෙස් සැඳ දීමෙන් හික්මනුව උපසපන් කරවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් පිරිවෙස් සැඳ දීමෙන් සික්මනුවක උපසපන් කරවා නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
3. පාරිවාසිකඡන්‍දදානෙන: පිරිස නැගිටි කල්හි.
සික්ඛමානා නම්: දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහටද ඇජරට ද දුකුළා ඇවැත් වේ.
පිරිස නො නැගිටි කල්හි උපසපන් කරවා නම් ඇවැත් නැත, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
එකොළොස්වන සිකපද යි.