4. 8. 6.
සවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්ෂුණී තොමෝ මෙහෙණ සඟන වෙතැ එළැඹැ වුට්ඨාපන සම්මුතිය යැදූ යැ. එකල්හි මෙහෙණ සඟ තෙමේ චණ්ඩකාළී භික්ෂුණිය පිරිසිඳ “ආර්ය්යාවෙනි, වුට්ඨාපන සම්මුතිය දීමෙන් තිට කම් නැතැ” යි වුට්ඨාපන සම්මුතිය නො දුන්නේ යැ. චණ්ඩකාළී භික්ෂුණී තොමෝ මැනැවැයි පිළිවදන් දුනු යැ. එසමයෙහි වනාහි මෙහෙණසඟ තෙමේ අන් මෙහෙණන්ට වුට්ඨාපන සම්මුතිය දෙයි. චණ්ඩකාළී භික්ෂුණී තොමෝ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි. “මම් මැ එකැතින් බාලයෙම් ද, මම් මැ එකැතින් අලජ්ජිනියෙම් ද, යම් හෙයෙකින් සඞ්ඝ තෙමේ අන් මෙහෙණන්ට වුට්ඨාපනසම්මුතිය දේ ද, මට මැ නො දේ දැ”යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා චණ්ඩකාළී තොමෝ ‘ආර්ය්යාවෙනි, වුට්ඨාපනසම්මුතිය දීමෙන් තොපට කම් නැතැ’යි කියනු ලබන්නී මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට පැමිණියාදැ”යි ... සැබෑද මහණෙනි, චණ්ඩකාළී භික්ෂුණී තොමෝ ‘ආර්ය්යාවෙනි, වුට්ඨාපනසම්මුතිය දීමෙන් තොපට කම් නැතැ’යි කියනු ලබන්නී මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට පැමිණියා දැ”යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී භික්ෂුණී තොමෝ ‘ආර්ය්යාවෙනි, වුට්ඨාපනසම්මුතිය දීමෙන් තිට කම් නැතැ’යි කියනු ලබන්නී මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට පැමිණියා ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ ‘ආර්ය්යාවෙනි, වුට්ඨාපන සම්මුතිය දීමෙන් තොපට කම් නැතැ’යි කියනු ලබන්නී මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට අවදී නම් පචිති වේ”ය යි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
අලං තාව තෙ අය්යෙ වුට්ඨාපිතෙන: ආර්ය්යාවෙනි, උපසපන් කැරැවීමෙන් තොපට කම් නැති. මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට පැමිණේ නම් පචිති ඇවැත් වේ.
ප්රකෘතියෙන් ඡන්දයෙන් ද්වේෂයෙන් මෝහයෙන් භයෙන් කරන්නහුට නුගුණ පවසා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සවන සිකපද යි.
4. 8. 7.
සත්වන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා සික්මනුවක් තොමෝ ථුල්ලනන්දා භික්ෂුණිය වෙතැ එළැඹැ උපසපුව යැදූ යැ. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ ඒ සික්මනුවට “ආර්ය්යාවෙනි, ඉදින් තෙපි මා හට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ”යි මෙසේ කියා නොමැ උපසපන් කරවයි. උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කරයි. එකල්හි ඒ සික්මනු තොමෝ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ සික්මනුවට ආර්ය්යාවෙනි, ඉදින් තෙපි මාහට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නොමැ උපසපන් කරවූ ද, උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කළා දැ”යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ සික්මනුවකට ආර්ය්යාවෙනි, ඉදින් තෙපි මාහට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නො මැ උපසපන් කරවා ද, උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ සික්මනුවකට ආර්ය්යාවෙනි, ඉදින් තෙපි මාහට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නො මැ උපසපන් කරවූ ද, උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කළා ද, මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා: