4. 8. 7.
සත්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා සික්මනුවක් තොමෝ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙතැ එළැඹැ උපසපුව යැදූ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ සික්මනුවට “ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මා හට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ”යි මෙසේ කියා නොමැ උපසපන් කරවයි. උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කරයි. එකල්හි ඒ සික්මනු තොමෝ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ සික්මනුවට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මාහට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නොමැ උපසපන් කරවූ ද, උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කළා දැ”යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සික්මනුවකට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මාහට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නො මැ උපසපන් කරවා ද, උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සික්මනුවකට ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මාහට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා නො මැ උපසපන් කරවූ ද, උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කළා ද, මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් සික්මනුවකට ‘ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි මා හට සිවුරක් දෙන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ යි මෙසේ කියා පසුවැ ඕතොමෝ අනතුරක් නැත්තී නොමැ උපසපන් කරවා නම් උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කෙරේ නම් පචිති වේ” ය යි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
සික්ඛමානා නම්, දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇතියා යැ.
සචෙ මෙ ත්‍වං අය්‍යෙ චීවරං දස්සසි එවාහන්තං වුට්ඨාපෙස්සාමි: මෙසේ මම තා උපසපන් කරවන්නෙමි.
සා පච්ඡා අනත්තරායිකීනි: අනතුරක් නැති කල්හි,
නේව වුට්ඨාපෙය්‍ය: නොමැ උපසපන් කරවයි.
න වුට්ඨාපනාය උස්සුක්කං කරෙය්‍ය: මෙරමාහට නො අණවයි. නොමැ උපසපන් කරවන්නෙමි, උපසපන් කරවීමට වෑයම් නො කරන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනතුරක් ඇති කල්හි, සොයා නොලබා නම්, ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත්වන සිකපද යි.
4. 8. 8.
අටවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා හික්මනුවක් තොමෝ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙතැ එළැඹැ උපසපුව යැදූ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ හික්මනුවට “ආර්‍ය්‍යාවෙනි, ඉදින් තෙපි දෙවසක් මට උවටැන් කරන්නහු නම් මම තොප උපසපන් කරවන්නෙමැ”යි මෙසේ කියා නොමැ උපසපන් කරවයි. උපසපන් කැරැවීම පිණිස වෑයම් නො කරයි. එකල්හි ඒ හික්මනු තොමෝ මෙහෙණන්ට තෙල කරුණ අරොජූ යැ.