4. 8. 5.
පස්වෙනි සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවත්. ඔහු නොදැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිති. සද්ධිවිහාරිනීහුද නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති; දොස් පතුරුවත්: “කෙසේ නම් පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවූහු දැ”යි. ... සැබෑද මහණෙනි, පිරිපුන් දොළොස් වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. මහණෙනි, පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණට වුට්ඨාපන සම්මුතිය දෙන්නට අනුදනිමි. මෙසේ ද වනාහි මහණෙනි, දිය යුතු යැ: පිරිපුන් දොළොස්වස් ඇති ඒ මෙහෙණ විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරුසඟ සිවුර එකස් කොට වැඩිමහලු මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, පිරිපුන් දොළොස්වස් ඇති මෙනම් ඇති මම මෙහෙණසඟනගෙන් වුට්ඨාපන සම්මුතිය යදිමි යි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවනවට දු යැදිය යුතු යැ. ඒ මෙහෙණ තොමෝ මෙහෙණ සඟන විසින් පිරික්සිය යුත්තී යැ. මේ මෙහෙණ තොමෝ ව්‍යක්ත වූවා ද ලජ්ජිනී වූවාදැ යි. ඉදින් නො දැනුමැති වූවා ද අලජ්ජිනී වූවා ද වේ නම් නො දිය යුත්තී යැ. ඉදින් නො දැනුමැති වූවා ද ලජ්ජිනී වූවා ද වේ නම් නො දිය යුත්තී යැ. ඉදින් ව්‍යක්ත වූවා ද අලජ්ජිනී වූවා ද වේ නම් නොදිය යුත්තී යැ. ඉදින් ව්‍යක්ත වූවා ද ලජ්ජිනී වූවා ද වේ නම් දිය යුත්තී යැ. මෙසේ ද වනාහි මහණෙනි, දියයුතු යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
3. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ ම වදන් අසාවා: පිරිපුන් දොළොස්වස් ඇති මෙ නම් ඇති මෝ තොමෝ භික්‍ෂුණී සඞ්ඝයාගෙන් වුට්ඨාපන සම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාහට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ පිරිපුන් දොළොස් වස් ඇති මෙනම් ඇති මෙහෙණට වුට්ඨාපන සම්මුතිය දෙන්නේ යැ. මේ ඥප්ති යි.
4. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. පිරිපුන් දොළොස්වස් ඇති මේ මෙනම් ඇති මෙහෙණ සඞ්ඝයාගෙන් වුට්ඨාපන සම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ පිරිපුන් දොළොස්වස් ඇති මෙ නම් මෙහෙණට වුට්ඨාපන සම්මුතිය දෙයි. පිරිපුන් දොළොස්වස් ඇති මෙ නම් මෙහෙණට වුට්ඨාපන සම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් පිරිපුන් දොළොස් වස් ඇති මෙනම් ඇති මෙහෙණට වුට්ඨාපන සම්මුති දෙනලද්දී යැ. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬ ය. මෙසේ මෙසේ දරමි යි.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් අයුරින් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ පිරිපුන් දොළොස් වස් ඇතියා සඞ්ඝයා විසින් සම්මත නොකරනලද්දී උපසපන් කරවා නම් පචිති වේ”ය යි.
6. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
පරිපුණ්ණද්වාදසවස්සා නම්: පැමිණි දොළොස්වස් ඇතියා යැ.
අසම්මතා නම්: ඤත්තිදුතිය කර්‍මයෙන් වුට්ඨාපන සම්මුති නො දෙනලද්දි වේ.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාට ද ඇජරහට ද දුකුළා ඇවැත් වේ.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.