4. 8. 4.
සතරවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි උනු දොළොස්වස් ඇති මෙහෙණෝ උපසපන් කරවත්. ඔහු නොදැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නොකැපය හෝ නො දනිති. සද්ධිවිහාරිනීහු ද නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් උනු දොළොස්වස් ඇති මෙහෙණෝ උපසපන් කරවූහු දැ”යි. ... සැබෑද මහණෙනි, උනු දොළොස්වස් ඇති මෙහෙණෝ උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, උනුදොළොස්වස් ඇති මෙහෙණෝ උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් උනු දොළොස්වස් ඇතියා උපසපන් කරවා නම් පචිති වේ”යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
ඌනද්වාදසවස්සා නම්: නොපත් දොළොස්වස් ඇතියා යැ.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරහට ද දුකුළා ඇවැත් වේ.
පිරිපුන් දොළොස්වස් ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සතරවන සිකපද යි.
4. 8. 5.
පස්වෙනි සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවත්. ඔහු නොදැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිති. සද්ධිවිහාරිනීහුද නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති; දොස් පතුරුවත්: “කෙසේ නම් පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවූහු දැ”යි. ... සැබෑද මහණෙනි, පිරිපුන් දොළොස් වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. මහණෙනි, පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණට වුට්ඨාපන සම්මුතිය දෙන්නට අනුදනිමි. මෙසේ ද වනාහි මහණෙනි, දිය යුතු යැ: පිරිපුන් දොළොස්වස් ඇති ඒ මෙහෙණ විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරුසඟ සිවුර එකස් කොට වැඩිමහලු මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, පිරිපුන් දොළොස්වස් ඇති මෙනම් ඇති මම මෙහෙණසඟනගෙන් වුට්ඨාපන සම්මුතිය යදිමි යි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවනවට දු යැදිය යුතු යැ. ඒ මෙහෙණ තොමෝ මෙහෙණ සඟන විසින් පිරික්සිය යුත්තී යැ. මේ මෙහෙණ තොමෝ ව්‍යක්ත වූවා ද ලජ්ජිනී වූවාදැ යි. ඉදින් නො දැනුමැති වූවා ද අලජ්ජිනී වූවා ද වේ නම් නො දිය යුත්තී යැ. ඉදින් නො දැනුමැති වූවා ද ලජ්ජිනී වූවා ද වේ නම් නො දිය යුත්තී යැ. ඉදින් ව්‍යක්ත වූවා ද අලජ්ජිනී වූවා ද වේ නම් නොදිය යුත්තී යැ. ඉදින් ව්‍යක්ත වූවා ද ලජ්ජිනී වූවා ද වේ නම් දිය යුත්තී යැ. මෙසේ ද වනාහි මහණෙනි, දියයුතු යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
3. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ ම වදන් අසාවා: පිරිපුන් දොළොස්වස් ඇති මෙ නම් ඇති මෝ තොමෝ භික්‍ෂුණී සඞ්ඝයාගෙන් වුට්ඨාපන සම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාහට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ පිරිපුන් දොළොස් වස් ඇති මෙනම් ඇති මෙහෙණට වුට්ඨාපන සම්මුතිය දෙන්නේ යැ. මේ ඥප්ති යි.