4. 8. 3.
තෙවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නොකරන ලද හෙරණියක උපසපන් කරවති. මෙහෙණෝ මෙසේ කීහු: ‘එවු හික්මනුවෙනි, මෙය දනිවු, මෙය දෙවු, මෙය ගෙනඑවු, මෙයින් ප්රයෝජන යැ, මෙය කැප කරවු’යි. ඔහු මෙසේ කීහු: ආර්ය්යාවෙනි, අපි හික්මනුවෝ නො වම්හ. අපි මෙහෙණෝ වම්හ යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නොකරනලද හෙරණියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑද මහණෙනි, මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති, දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නොකරනලද හෙරණියක උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති, දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නොකරනලද හෙරණියක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. ‘මහණෙනි, පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හෙරණියට වුට්ඨාන සම්මුතිය දෙන්නට අනුදනිමි’යි. මෙසේ ද වනාහි මහණෙනි, දිය යුතු යැ. පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති ඒ හෙරණිය විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරුසඟ සිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ යැ: ආර්ය්යාවෙනි, මෙනම් ඇති ආර්ය්යාව කෙරෙහි වූ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හෙරණිය වූ මෙනම් ඇති මම සඞ්ඝයාගෙන් වුට්ඨාන සම්මුතිය යදිමි යි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවනවට දු යැදිය යුතු යැ. ව්යක්ත වූ ප්රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
3. ආර්ය්යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා: මෙනම් ඇති ආර්ය්යාව කෙරෙහි වූ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හෙරණි වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨාන සම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ පිරිපුන් විසිවස් ඇති සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හෙරණියට වුට්ඨාන සම්මුතිය දෙන්නේ යැ. මේ ඥප්ති යි.
4. ආර්ය්යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්ය්යාව කෙරෙහි වූ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හෙරණි වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨාන සම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ පිරිපුන් විසි වස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හෙරණියට වුට්ඨාන සම්මුතිය දෙයි. පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හෙරණියට වුට්ඨාන සම්මුතිය දීම යම් ආර්ය්යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬවන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හෙරණියට වුට්ඨාන සම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.