4. 8. 2.
දෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නොහික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවති. ඔහු නොදැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නොකැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති; දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති සවැදෑරුම් දහම්හි නොහික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑද මහණෙනි, මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නොහික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නොහික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. “මහණෙනි, අටළොස් වස් ඇති හෙරැණියකට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන්නට අනුදනිමි’. මෙසේ ද වනාහි මහණෙනි, දිය යුතු යැ. ඒ අටළොස් වස් ඇති හෙරැණිය විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරුසඟ සිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙ නම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ අටළොස් වස් ඇති හෙරණි වූ මෙනම් ඇති මම සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදිමියි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවනවට දු යැදිය යුතු යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
2. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝතෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහිවූ අටළොස් වස් ඇති හෙරැණිවූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාහට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝතෙමේ අටළොස් වස් ඇති මෙනම් ඇති හෙරැණියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන්නේ යැ. මේ ඥප්ති යි.
3. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ අටළොස් වස් ඇති හෙරැණි වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ අටළොස් වස් ඇති මෙනම් ඇති හෙරැණියහට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙයි. අටළොස් වස් ඇති මෙනම් ඇති හෙරැණියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬවන්නී යැ, යමකට නොරුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් අටළොස් වස් ඇති මෙනම් ඇති හෙරණියට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාට රුස්නේයැ. එහෙයින් නිහඬය හ. මෙසේ මෙය දරමි යි.
4. අටළොස් වස් ඇති ඒ හෙරැණිය මෙසේ කියවයි කියයුත්තී යැ. දෙවසක් පණිවායෙන් වැළකීම නො ඉක්මවිය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි ... දෙවසක් විකල් බොජුනෙන් වැළකීම නො ඉක්මවිය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් අයුරින් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නොහික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
5. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරනලද භික්‍ෂුණි යි.
පරිපුණ්ණවීසතිවස්සා නම්: පැමිණි විසිවස් ඇතියා යැ.
කුමාරිභූතා නම්: හෙරැණිය කියනු ලැබෙයි.
ද්වේවස්සානි: දෑවුරුද්දක්.