4. 8. 1.
පළමු සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි මෙහෙණෝ උනුවිසිවස් ඇති හෙරැණිය උපසපන් කරවති. ඔහු සිහිලස උණුසුම සාගිනි පවස නො සිහිය හැකියෝ වෙති. ඩැහැමැසි මදුරු වා හිරු රැස් දිග්දෑ පහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි වැ උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවිහරන වෙයිනුදු නො ඉවසන සුල්ලෝ වෙත්.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ උනුවිසිවස් ඇති හෙරැණියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ උනුවිසිවස් ඇති, හෙරැණියක උපසපන් කරවත් දැ යි ... සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ උනුවිසිවස් ඇති, හෙරැණියක උපසපන් කරවූහු ද? මහණෙනි, උනුවිසිවස් ඇති හෙරැණිය සිහිලස උණුසුම ... දිවිහරන (වෙයිනුදු) නො ඉවසනසුලු වූවා වෙයි. මහණෙනි, විසිවස් ඇති හෙරැණිය සිහිලස උණුසුම ... දිවිහරන (වෙයිනුදු) ඉවසන සුලු වූවා ද වෙයි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් උනුවිසිවස් ඇති හෙරැණියක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
3. යා පන: යම්, යම් බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
ඌනවීසතිවස්සා නම්: නො පත් විසිවස් ඇතියා යැ.
කුමාරිභූතා නම්: හෙරැණිය කියනු ලැබේ.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම් වදන් පිරියතැ උවදෑ මෙහෙණහට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරහටද දුකුළා ඇවැත් වේ.
උනු විසිවස් ඇතියා කෙරෙහි උනු විසිවස් සන් ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. උනු විසිවස් ඇතියා කෙරෙහි විමති ඇතියා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. උනු විසිවස් ඇතියා කෙරෙහි පිරිපුන් සන්ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නැති.
පිරිපුන් විසිවස් ඇතියා කෙරෙහි උනු විසිවස් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් විසිවස් ඇතියා කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් විසිවස් ඇතියා කෙරෙහි පිරිපුන් සන් ඇතියා නම් ඇවැත් නැති.
උනු විසිවස් ඇතියක පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම්, පිරිපුන් විසිවස් ඇතියක පිරිපුන් සන් ඇතියා උපසපන් කරවා නම්, ඇවැත් නොවේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පළමු සිකපද යි.
4. 8. 2.
දෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නොහික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවති. ඔහු නොදැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නොකැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති; දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති සවැදෑරුම් දහම්හි නොහික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑද මහණෙනි, මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නොහික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ පිරිපුන් විසිවස් ඇති දෙවසක් සවැදෑරුම් දහම්හි නොහික්මුණු සිඛ ඇති හෙරැණියක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. “මහණෙනි, අටළොස් වස් ඇති හෙරැණියකට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය දෙන්නට අනුදනිමි’. මෙසේ ද වනාහි මහණෙනි, දිය යුතු යැ. ඒ අටළොස් වස් ඇති හෙරැණිය විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරුසඟ සිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙ නම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි වූ අටළොස් වස් ඇති හෙරණි වූ මෙනම් ඇති මම සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්‍ෂාසම්මුතිය යදිමියි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවනවට දු යැදිය යුතු යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.