4. 7. 8.
අටවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එ සමයෙහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්රහ කෙරෙයි. නො මැ අනුග්රහ කරවයි. ඔහු නො දැනුමැති අව්යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්රහ කළා ද, නො මැ අනුග්රහ කරවූ දැ”යි. ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්රහ කෙරේ ද, නො මැ අනුග්රහ කරවා දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්රහ කළා ද, නො මැ අනුග්රහ කරවූ ද, මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් සහජීවිනියක උපසපන් කරවා දෙවසක් නො මැ අනුග්රහ කෙරේ නම් නො මැ අනුග්රහ කරවා නම් පචිති වේ”යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
සහජීවිනී නම්: සද්ධිවිහාරිනිය කියනු ලැබෙයි.
වුට්ඨාපෙත්වා: උපසපන් කරවා.
ද්වෙ වස්සානි: දෑවුරුද්දක්.
නේව අනුග්ගණෙහය්ය: තොමෝ උද්දේශයෙන් පරිපුච්ඡායෙන්, අවවාදයෙන් අනුසාසනයෙන් නො මැ අනුග්රහ කරයි.
න අනුග්ගණහාපෙය්ය: මෙරමාහට නො අණවයි. දෙවසක් නො මැ අනුග්රහ කරන්නෙමි, අනුග්රහ නො කරවන්නෙමි යි ධුරනික්ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම්, ගිලන්වූවාට, ආපදායෙහි ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
අටවන සිකපද යි.
4. 7. 9.
නවවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවටැන් නො කෙරෙති. ඔහු නො දැනුමැති අව්යක්තයෝ වෙති. කැපය හෝ නොකැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවැටන් නො කරවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවැටන් නො කෙරෙත් දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවටැන් නො කළහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් උපසපන් කැරැවූ උවදෑ මෙහෙණ දෙවසක් උවටැන් නො කෙරේ නම් පචිති වේ”යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.