4. 7. 4.
සතරවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවත්. මෙහෙණෝ මෙසේ කීහු: “එවු හික්මනුවෙනි, මෙය දනිවු, මෙය දෙවු, මෙය ගෙන එවු, මෙයින් ප්‍රයෝජන යැ, මෙය කැප කරවු” යයි. ඔහු මෙසේ කීහු: “ආර්‍ය්‍යාවෙනි, අපි හික්මනුවෝ නො වම්හ. අපි මෙහෙණෝ වම්හ”යි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේක. මහණෙනි, දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හික්මනුවට වුට්ඨානසම්මුතිය දෙන්නට අනුදනිමි. මෙසේ ද වනාහි මහණෙනි, දිය යුතු යැ. දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති ඒ හික්මනුව විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරු සඟසිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති හික්මනු වූ මෙ නම් ඇති මම සඞ්ඝයාගෙන් වුට්ඨානසම්මුතිය යදිමි යි. දෙවනවට දු යැදිය යුතුයැ. තෙවනවට දු යැදිය යුතු යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
2. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙ නම් ඇති මේ හික්මනු තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨානසම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හික්මනුවට වුට්ඨානසම්මුතිය දෙන්නේ යැ. මේ ඤත්තී යැ.
ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙ නම් ඇති ආර්‍ය්‍යාව කෙරෙහි දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙ නම් ඇති මේ හික්මනු තොමෝ සඞ්ඝයාගෙන් වුට්ඨානසම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙ නම් ඇති හික්මනුවට වුට්ඨානසම්මුතිය දෙයි. දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙ නම් ඇති හික්මනුවට වුට්ඨානසම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ. දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති මෙනම් ඇති හික්මනුවට සඞ්ඝයා විසින් වුට්ඨානසම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාහට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙය මෙසේ දරමියි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් දෙවසක් සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇති සඞ්ඝයා විසින් සම්මත නො කරන ලද හික්මනුවක උපසපන් කරවා නම් පචිති වේ”යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
ද්වෙ වස්සානි: දෑවුරුද්දක්.
සික්ඛිතසික්ඛා නම්: සවැදෑරුම් දහම්හි හික්මුණු සිඛ ඇත්තී යැ.
අසම්මතා නම්: ඥප්ති ද්විතීය කර්‍මයෙන් වුට්ඨානසම්මුතිය නො දෙන ලදුවා වෙයි.
වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම්වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජර මෙහෙණට ද දුකුළා ඇවැත් වේ.