4. 7. 3.
තෙවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවති. ඔහු නො දැනුමැති අව්යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට භික්ෂූන් ඇමැතූ සේක. ‘මහණෙනි, හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්ෂාසම්මුතිය දෙන්නට අනුදනිමි’. මෙසේ ද වනාහි මහණෙනි, දියයුතු යැ. ඒ හික්මනුව විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරු සඟ සිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ යැ: ආර්ය්යාවෙනි, මෙනම් ඇති ආර්ය්යාවගේ හික්මනු වූ මෙනම් ඇති මම දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්ෂාසම්මුතිය සඞ්ඝයාගෙන් යදිමි යි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවන වට දු යැදිය යුතු යි. ව්යක්ත වූ ප්රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
2. ආර්ය්යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්ය්යාවගේ හික්මනු වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්ෂාසම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් ඇති හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්ෂාසම්මුතිය දෙන්නේ යැ. මේ ඤත්ති යි.
ආර්ය්යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්ය්යාවගේ හික්මනු වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්ෂාසම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ මෙනම් ඇති හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්ෂාසම්මුතිය දෙයි. මෙනම් ඇති හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්ෂාසම්මුතිය දීම යම් ආර්ය්යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕතොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් මෙනම් ඇති හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්ෂාසම්මුතිය දෙන ලද්දී යැ. සඞ්ඝයාහට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙය මෙසේ දරමි”යි.
ඒ හික්මනු තොමෝ මෙසේ කියව යි කිය යුත්තී යැ. පණිවායෙන් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. අයිනාදනින් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. අබ්රම්සරින් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. මුසවායෙන් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. මදයට හා ප්රමාදයට කරුණු වූ රහමෙරින් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි. විකල් බොජුනෙන් වැළකීම දෙවසක් නො ඉක්ම විය යුතු සමාදානයක් කොට සමාදන් වෙමි යි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවා නම් පචිති වේ”යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණී යි.
ද්වෙ වස්සානි: දෑවුරුද්දක්;
අසික්ඛිතසික්ඛා නම්: සික හෝ නො දෙන ලද්දී වෙයි. දෙන ලද සික කිපියා හෝ වෙයි.
වුට්ඨාපෙය්ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් දුකුළා වෙති. කම් වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාට ද ඇජර මෙහෙණට ද දුකුළා ඇවැත් වේ.