4. 7. 2.
දෙවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවති. ඕතොමෝ පිඬු පිණිස හැසිරෙයි. මිනිස්සු මෙසේ කීහු: ‘ආර්ය්යාවට පිඬු දෙවු, ආර්ය්යා තොමෝ දෙවැන්නකු ඇත්තී’යැ යි. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ කිරිපොවන්නියක උපසපන් කරවූහු දැ”යි. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවත් දැ”යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ කිරිපොවන්නිය උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් කිරි පොවන්නිය උපසපන් කරවා නම් පචිති වේ”යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
පායන්තී නම්: මව හෝ වෙයි, කිරිමව හෝ වෙයි.
වුට්ඨාපෙය්ය: උපසපන් කරවයි.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම්, සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජර මෙහෙණට ද දුකුළා ඇවැත් වේ.
කිරිපොවන්නිය කෙරෙහි කිරිපොවන්නී සන් ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. කිරිපොවන්නිය කෙරෙහි විමති ඇතියා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. කිරිපොවන්නිය කෙරෙහි කිරිනොපොවන්නීසන් ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නැති.
කිරිපොවන්නිය කෙරෙහි කිරිපොවන්නී සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. කිරි නො පොවන්නිය කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. කිරි නො පොවන්නිය කෙරෙහි කිරි නො පොවන්නී සන් ඇතියා නම් ඇවැත් නැති.
කිරිපොවන්නිය කිරි නො පොවන්නී සන් ඇතියා උපසපන් කරවා නම්, කිරි නො පොවන්නිය කිරි නො පොවන්නී සන් ඇතියා උපසපන් කරවා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දෙවන සිකපද යි.
4. 7. 3.
තෙවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවති. ඔහු නො දැනුමැති අව්යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවූහු දැ”යි. ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ දෙවසක් සවැදෑරුම් දහම්හි නො හික්මුණු සිඛ ඇති හික්මනුව උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට භික්ෂූන් ඇමැතූ සේක. ‘මහණෙනි, හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්ෂාසම්මුතිය දෙන්නට අනුදනිමි’. මෙසේ ද වනාහි මහණෙනි, දියයුතු යැ. ඒ හික්මනුව විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරු සඟ සිවුර එකස් කොට මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ යැ: ආර්ය්යාවෙනි, මෙනම් ඇති ආර්ය්යාවගේ හික්මනු වූ මෙනම් ඇති මම දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්ෂාසම්මුතිය සඞ්ඝයාගෙන් යදිමි යි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවන වට දු යැදිය යුතු යි. ව්යක්ත වූ ප්රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
2. ආර්ය්යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙනම් ඇති ආර්ය්යාවගේ හික්මනු වූ මෙනම් ඇති මෝ තොමෝ සඞ්ඝයාගෙන් දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්ෂාසම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් ඇති හික්මනුවට දෙවසක් සවැදෑරුම් දහම්හි ශික්ෂාසම්මුතිය දෙන්නේ යැ. මේ ඤත්ති යි.