4. 6. 7.
සත්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ ගම්බද අවසෙක්හි වස් වැස සිටියාහු සැවැතට ගියාහු ය. මෙහෙණෝ ඒ මෙහෙණන්ට මෙය කීහු: ආර්‍ය්‍යාවෝ කොතැන්හි වස් වැස නිමියාහු ද, කොතැන්හි භික්‍ෂුසඞ්ඝ තෙමේ පවරනලද්දේ දැ යි. ආර්‍ය්‍යාවෙනි, අපි භික්‍ෂුසඞ්ඝයා නො පවරමු, යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පවරත්: “කෙසේ නම් මෙහෙණෝ වස් වැස නිමියාහු භික්‍ෂුසඞ්ඝයා නො පැවැරූහු දැ” යි. … සැබෑද මහණෙනි, මෙහෙණෝ වස් වැස නිමියාහු භික්‍ෂුසඞ්ඝයා නො පවරත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ වස් වැස නිමියාහු භික්‍ෂුසඞ්ඝයා නො පැවැරූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් වස් වැස නිමියාහු දෙසඟුන් කෙරෙහි දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ (යන) තුන් කරුණෙන් නො පවරා නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
වස්සං වුත්‍ථා නම්: පළමු තෙමස හෝ පැසුළු තෙමස හෝ වැස නිමියාහු දෙසඟුන් කෙරෙහි දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ යන තුන් කරුණෙන් නො පවරන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනාපත්ති: අනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම්, ගිලන් වූවාට ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත්වන සිකපද යි.
4. 6. 8.
අටවන සිකපදය
1. එ සමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වතැ නුගඅරම්හි වැඩවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ මෙහෙණ වරට එළැඹැ සවග මෙහෙණන්ට අවවාද කෙරෙති. මෙහෙණෝ සවග මෙහෙණන්ට මෙය කීහු: ආර්‍ය්‍යාවෙනි, එවු, අවවාදයට යම්හයි. ආර්‍ය්‍යාවෙනි, අපි යම් තැනකටදු අවවාද හේතුවෙන් යන්නමෝ නම් සවග ආර්‍ය්‍යයෝ මෙහි මැ අපට අවවාද කෙරෙති යි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ අවවාදයට නො ගියාහු දැ” යි … සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ අවවාදයට නො යෙත් දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ අවවාදයට නො ගියාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ගරුදහම් ඇසීම පිණිස හෝ පොහෝපවුරුණු පිළිවිසීම පිණිස හෝ නො යේ නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරනලද භික්‍ෂුණි යි.
ඕවාද නම්: අෂ්ට ගරුධර්‍මයෝ යැ.
සංවාස නම්: ඒකකර්‍ම යැ, ඒකෝද්දේශ යැ, සමශික්‍ෂතා යැ, ගරුදහම් ඇසීම පිණිස හෝ පොහෝ පවුරුණු පිළිවිසීම පිණිස හෝ නො යන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනතුරක් ඇති කල්හි, සොයා දෙවැනි මෙහෙණක නො ලබා නම්, ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
අටවන සිකපද යි.