4. 6. 8.
අටවන සිකපදය
1. එ සමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වතැ නුගඅරම්හි වැඩවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ මෙහෙණ වරට එළැඹැ සවග මෙහෙණන්ට අවවාද කෙරෙති. මෙහෙණෝ සවග මෙහෙණන්ට මෙය කීහු: ආර්‍ය්‍යාවෙනි, එවු, අවවාදයට යම්හයි. ආර්‍ය්‍යාවෙනි, අපි යම් තැනකටදු අවවාද හේතුවෙන් යන්නමෝ නම් සවග ආර්‍ය්‍යයෝ මෙහි මැ අපට අවවාද කෙරෙති යි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ අවවාදයට නො ගියාහු දැ” යි … සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ අවවාදයට නො යෙත් දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ අවවාදයට නො ගියාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ගරුදහම් ඇසීම පිණිස හෝ පොහෝපවුරුණු පිළිවිසීම පිණිස හෝ නො යේ නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරනලද භික්‍ෂුණි යි.
ඕවාද නම්: අෂ්ට ගරුධර්‍මයෝ යැ.
සංවාස නම්: ඒකකර්‍ම යැ, ඒකෝද්දේශ යැ, සමශික්‍ෂතා යැ, ගරුදහම් ඇසීම පිණිස හෝ පොහෝ පවුරුණු පිළිවිසීම පිණිස හෝ නො යන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනතුරක් ඇති කල්හි, සොයා දෙවැනි මෙහෙණක නො ලබා නම්, ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
අටවන සිකපද යි.
4. 6. 9.
නවවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ පොහොය ද නො පිළිවිසිති. අවවාදය ද නො යදිත්. භික්‍ෂුහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ පොහොයත් නො පිළිවුසූහු ද? අවවාදයත් නො යැදූහු දැ යි … සැබෑද මහණෙනි, මෙහෙණෝ පොහොයත් නො පිළිවිසිත් ද අවවාදත් නො යදිත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ පොහොයත් නො පිළිවුසූහු ද? අවවාදයත් නො යැදූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“අඩමසක් පාසා මෙහෙණක විසින් භික්‍ෂුසඞ්ඝයා වෙතින් පොහොය පිළිවිසීම ද අවවාදය පිණිස එළඹීම දැ යි දෙදහම්හු බලාපොරොත්තු විය යුත්තාහ. එය ඉක්මවන්නියට පචිති වේ” යයි.
2. අනවද්ධමාසං: පොහොයක් පාසා.
උපෝසථ නම්: තුදුස්වක යැ, පසළොස්වක දැ යි දෙ පොහොයකි.
ඕවාද නම්: අෂ්ටගරුධර්‍මයෝ යැ. පොහොයත් නොපිළිවිසින්නෙමි. අවවාදයත් නො යදින්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනතුරක් ඇති කල්හි, සොයා දෙවන මෙහෙණක නො ලබා නම්, ගිලන් වූවාට, ආපදායෙහි උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවවන සිකපද යි.
4. 6. 10.
දසවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණක් (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඩක් හුදෙකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳවූ යැ. එකල්හි ඒ පුරුෂ තෙමේ ඒ මෙහෙණ දූෂණය කරන්නට වෑයම් කෙළේ යැ. ඕ තොමෝ වියරුහඬක් කළා යැ. මෙහෙණෝ වෙතැ දුවැ අවුත් ඒ මෙහෙණට මෙය කීහු: ආර්‍ය්‍යාවෙනි, කුමක් හෙයින් තෝ වියරුහඬක් කෙළෙහි දැ යි. එකල්හි ඒ මෙහෙණ තොමෝ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.