4. 6. 6.
සවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ ගම්බද අවසෙක්හි වස් වැස නිමියාහු සැවැතට ගියාහු යැ. මෙහෙණෝ ඒ මෙහෙණන්ට මෙය කීහු: ආර්‍ය්‍යාවෝ නො තැන්හි වස් වැස සිටියාහු ද? කිම, අවවාද සමෘද්ධ වී දැ යි. ආර්‍ය්‍යාවෙනි, එහි භික්‍ෂූහු නැත. කොතැනින් අවවාද සමෘද්ධ වන්නේ ද? යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ භික්‍ෂූන් රහිත ආවාසයෙහි වස්වුසූහු දැ”යි. … සැබෑද මහණෙනි, මෙහෙණෝ භික්‍ෂූන් රහිත ආවාසයෙහි වස් වසත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ භික්‍ෂූන් රහිත ආවාසයෙහි වස් වුසූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද වනාහි මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් භික්‍ෂූන් රහිත ආවාසයෙහි වස් වසා නම් පචිති වේ” ය යි.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අභික්ඛුක ආවාස නම්: සදහම් ඇසීම පිණිස හෝ පොහෝ පවුරුණු පිළිවිසීම පිණිස හෝ යන්නට නො හැක්කේ වෙයි.
වස් වසන්නෙමි යි සෙනසුන් පනවා නම් පැන් පිරිබෝදිය එළවා තබා නම් පිරිවෙන හමදී නම් දුකුළා ඇවැත් වෙයි. අරුණ නැගීම සමග පචිති ඇවැත් වේ.
වස් එළැඹුණු භික්‍ෂූහු බැහැරැ ගියාහු හෝ උපැවිදිවූවාහු හෝ කලුරිය කළාහු හෝ තීර්‍ත්‍ථ්‍යායතනයකට ගියාහු හෝ වෙත් නම්, ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
සවන සිකපද යි.
4. 6. 7.
සත්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ ගම්බද අවසෙක්හි වස් වැස සිටියාහු සැවැතට ගියාහු ය. මෙහෙණෝ ඒ මෙහෙණන්ට මෙය කීහු: ආර්‍ය්‍යාවෝ කොතැන්හි වස් වැස නිමියාහු ද, කොතැන්හි භික්‍ෂුසඞ්ඝ තෙමේ පවරනලද්දේ දැ යි. ආර්‍ය්‍යාවෙනි, අපි භික්‍ෂුසඞ්ඝයා නො පවරමු, යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පවරත්: “කෙසේ නම් මෙහෙණෝ වස් වැස නිමියාහු භික්‍ෂුසඞ්ඝයා නො පැවැරූහු දැ” යි. … සැබෑද මහණෙනි, මෙහෙණෝ වස් වැස නිමියාහු භික්‍ෂුසඞ්ඝයා නො පවරත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ වස් වැස නිමියාහු භික්‍ෂුසඞ්ඝයා නො පැවැරූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් වස් වැස නිමියාහු දෙසඟුන් කෙරෙහි දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ (යන) තුන් කරුණෙන් නො පවරා නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
වස්සං වුත්‍ථා නම්: පළමු තෙමස හෝ පැසුළු තෙමස හෝ වැස නිමියාහු දෙසඟුන් කෙරෙහි දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ යන තුන් කරුණෙන් නො පවරන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනාපත්ති: අනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම්, ගිලන් වූවාට ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත්වන සිකපද යි.