4. 6. 5.
පස්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණක් සැවැතැ එක්තරා වීථියෙකැ පිඬු පිණිස හැසිරෙන්නී එක්තරා කුලයක් වෙත එළඹියා යැ. එළැඹැ පැන වූ අසුනෙහි හුනු යැ. එකල්හි ඒ මිනිස්සු ඒ මෙහෙණ වළඳවා මෙය කීහු: “ආර්‍ය්‍යාවෙනි, අන් මෙහෙණෝ ද එත්වා” යි. එකල්හි ඒ මෙහෙණ කෙසේ නම් මෙහෙණෝ නො එන්නාහු දැ යි මෙහෙණන් වෙත එළැඹැ මෙය කිවූ යැ. “ආර්‍ය්‍යාවෙනි, අසුවල් පෙදෙසෙහි ව්‍යාලශුනකයෝ යැ, සැඩ ගොන් යැ, මඬපියෙස් යැ. එහි නහමක් යව යි. එක්තරා මෙහෙණක් තොමෝත් ඒ වීථියෙහි පිඬු පිණිස හැසිරෙන්නී ඒ කුලය වෙත එළඹියා යැ. එළැඹැ පැනවූ අසුනෙහි හුනු යැ. එකල්හි ඒ මිනිස්සු ඒ මෙහෙණ වළඳවා මෙය කීහු: “ආර්‍ය්‍යාවෙනි, කුමක් හෙයින් මෙහෙණෝ නො එත් දැ” යි.
2. එකල්හි ඒ මෙහෙණ ඒ මිනිසුන්හට තෙල කරුණ ඇරොජූ යැ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණ, කුලය කෙරෙහි මසුරුකම් කළා දැ” යි … සැබෑද මහණෙනි, මෙහෙණ, කුලය කෙරෙහි මසුරුකම් කෙරේ දැයි, සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණ, කුලය කෙරෙහි මසුරුකම් කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් වනාහි කුල මසුරුකම් කරනසුලු වූවා වේ නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
කුල නම්: ක්‍ෂත්‍රියකුල යැ, බ්‍රාහ්මණකුල යැ වෛශ්‍යකුල යැ ශුද්‍රකුල යැ යි කුල සතරෙකි.
මච්ඡරිනී අස්ස: කෙසේ මෙහෙණෝ නො එන්නාහු දැ යි මෙහෙණන් වෙත කුලය පිළිබඳ නුගුණ කියා නම් පචිති ඇවැත් වෙයි. කුලය වෙත හෝ මෙහෙණන් පිළිබඳ නුගුණ කියා නම් පචිති ඇවැත් වේ.
කුලයට මසුරුකම් නො කරන්නී ඇති මැ දොසක් කියා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
පස්වන සිකපද යි.
4. 6. 6.
සවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ ගම්බද අවසෙක්හි වස් වැස නිමියාහු සැවැතට ගියාහු යැ. මෙහෙණෝ ඒ මෙහෙණන්ට මෙය කීහු: ආර්‍ය්‍යාවෝ නො තැන්හි වස් වැස සිටියාහු ද? කිම, අවවාද සමෘද්ධ වී දැ යි. ආර්‍ය්‍යාවෙනි, එහි භික්‍ෂූහු නැත. කොතැනින් අවවාද සමෘද්ධ වන්නේ ද? යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ භික්‍ෂූන් රහිත ආවාසයෙහි වස්වුසූහු දැ”යි. … සැබෑද මහණෙනි, මෙහෙණෝ භික්‍ෂූන් රහිත ආවාසයෙහි වස් වසත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ භික්‍ෂූන් රහිත ආවාසයෙහි වස් වුසූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද වනාහි මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් භික්‍ෂූන් රහිත ආවාසයෙහි වස් වසා නම් පචිති වේ” ය යි.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අභික්ඛුක ආවාස නම්: සදහම් ඇසීම පිණිස හෝ පොහෝ පවුරුණු පිළිවිසීම පිණිස හෝ යන්නට නො හැක්කේ වෙයි.
වස් වසන්නෙමි යි සෙනසුන් පනවා නම් පැන් පිරිබෝදිය එළවා තබා නම් පිරිවෙන හමදී නම් දුකුළා ඇවැත් වෙයි. අරුණ නැගීම සමග පචිති ඇවැත් වේ.
වස් එළැඹුණු භික්‍ෂූහු බැහැරැ ගියාහු හෝ උපැවිදිවූවාහු හෝ කලුරිය කළාහු හෝ තීර්‍ත්‍ථ්‍යායතනයකට ගියාහු හෝ වෙත් නම්, ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
සවන සිකපද යි.