4. 6. 4.
සිවුවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා බමුණෙක් මෙහෙණන් පවරා වැළඳවී යැ. වළඳා අවසන් කළ පැවරූ මෙහෙණෝ නෑ කුලයනට ගොස් ඇතැම් කෙනෙක් වැළඳූහ. ඇතැම් කෙනෙක් පිණ්ඩපාතය ගෙන ගියහ. එකල්හි ඒ බමුණු අසල්වැසියනට මෙය කී යැ. ආර්ය්යයෙනි, මා විසින් මෙහෙණෝ සතප්පනලදහ. තෙපිදු එවු සතප්පවන්නෙමි. ඔහු මෙසේ කීහු: ආර්ය්යය, කිම තෝ අප සතප්පවන්නෙයි ද? තා විසින් යම් මෙහෙණ කෙනෙක් පවරන ලදහු ද, ඔහු දු අපගේ ගෙවලට අවුත් ඇතැම් කෙනෙක් වැළඳූහ. ඇතැම් කෙනෙක් පිණ්ඩපාතය ගෙන ගියහ යි.
2. එකල්හි ඒ බමුණු ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ අපගේ ගෙහි වළඳා අන් තැනෙකැ වැළඳූහු ද? මම සෑහෙන පමණ දෙන්නට ප්රතිබල නො වෙම්” දැයි. භික්ෂුණීහු, ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ බමුණගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් වළඳා අවසන් කළ පැවරූ මෙහෙණෝ අන් තැනෙකැ වැළඳූහු දැ” යි. සැබෑද මහණෙනි, වළඳා අවසන් කළ පැවරූ මෙහෙණෝ අන්තැනෙකැ වළඳත් දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් වළඳා අවසන් කළ පැවරූ මෙහෙණෝ අන් තැනෙකැ වැළඳූහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේද මහණෙනි මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
“යම් මෙහෙණක් නිමතනලද්දී හෝ පවරන ලද්දී හෝ කෑ යුත්තක් හෝ බිදියයුත්තක් හෝ කා නම් බුදී නම් හෝ පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරනලද භික්ෂුණි යි.
නිමන්තිතා නම්: පස් බොජුන් අතුරෙන් එක්තරා බොජුනෙකින් නිමතන ලද්දී යැ.
පවාරිතා නම්: අඩාළ කළ බොජුන පැනෙයි, පැවරීමට නො පොහෝනා බොජුන පැනෙයි, අත්පස සිටියා වෙයි, කයින් එළවයි, ප්රතික්ෂේපය පැනේ.
ඛාදනීය නම්: පස්බොජුන, හඹු යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවකය තබා සෙස්ස ඛාදනීය නම් වේ.
භෝජනීය නම්: පස් බොජුනැ: බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩමස් යැ.
කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
යාමකාලිකය, සත්තාහකාලිකය, යාවජීවකය අහර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වේ.
නිමතන ලද්දී නො පවරන ලද්දී හඹු බෝ නම්, හිමියන් පිළිවිසැ වළඳා නම්, යාමකාලිකය, සත්තාහකාලිකය, යාවජීවකය කරුණක් ඇති කල්හි වළඳා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
සිවුවන සිකපද යි.
4. 6. 5.
පස්වන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණක් සැවැතැ එක්තරා වීථියෙකැ පිඬු පිණිස හැසිරෙන්නී එක්තරා කුලයක් වෙත එළඹියා යැ. එළැඹැ පැන වූ අසුනෙහි හුනු යැ. එකල්හි ඒ මිනිස්සු ඒ මෙහෙණ වළඳවා මෙය කීහු: “ආර්ය්යාවෙනි, අන් මෙහෙණෝ ද එත්වා” යි. එකල්හි ඒ මෙහෙණ කෙසේ නම් මෙහෙණෝ නො එන්නාහු දැ යි මෙහෙණන් වෙත එළැඹැ මෙය කිවූ යැ. “ආර්ය්යාවෙනි, අසුවල් පෙදෙසෙහි ව්යාලශුනකයෝ යැ, සැඩ ගොන් යැ, මඬපියෙස් යැ. එහි නහමක් යව යි. එක්තරා මෙහෙණක් තොමෝත් ඒ වීථියෙහි පිඬු පිණිස හැසිරෙන්නී ඒ කුලය වෙත එළඹියා යැ. එළැඹැ පැනවූ අසුනෙහි හුනු යැ. එකල්හි ඒ මිනිස්සු ඒ මෙහෙණ වළඳවා මෙය කීහු: “ආර්ය්යාවෙනි, කුමක් හෙයින් මෙහෙණෝ නො එත් දැ” යි.
2. එකල්හි ඒ මෙහෙණ ඒ මිනිසුන්හට තෙල කරුණ ඇරොජූ යැ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණ, කුලය කෙරෙහි මසුරුකම් කළා දැ” යි … සැබෑද මහණෙනි, මෙහෙණ, කුලය කෙරෙහි මසුරුකම් කෙරේ දැයි, සැබැව භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණ, කුලය කෙරෙහි මසුරුකම් කළා ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් වනාහි කුල මසුරුකම් කරනසුලු වූවා වේ නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.