4. 6. 3.
තෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ ඩබරකරන්නී කලහකරන්නී විවාදකරන්නී දොඩමළුකම් කරන්නී සඞ්ඝයා කෙරෙහි අධිකරණ කරන්නී වෙයි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඇයට කර්‍ම කරනු ලබන කල්හි පටහැණි වැ කරුණු කියයි, එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ කිසියම් ඇවැසි කටයුත්තකින් ගමකට ගියා යැ. එකල්හි භික්‍ෂුණීසඞ්ඝ තෙමේ ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ බැහැරැ ගියා යැ යි චණ්ඩකාළී භික්‍ෂුණියට ඇවැත් නො දැක්මෙහි උකෙව්නීකම් කෙළේ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ගමෙහි ඒ ඇවැසි කටයුත්ත තීරණය කොට නැවැතත් සැවැතට පෙරළා අවු යැ. චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ එන්නා වූ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට අසුන් නො මැ පැනවූ යැ. පාදෝනාදිය දෙවූ පා තබන පුටුව නො දෙවූ පාතබන පුටුව නො මැ එළවා තැබූ යැ. පෙර ගමන් කොට පා සිවුරු නො පිළිගතු යැ. පැනින් නො පිළිවුසූ යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ චණ්ඩකාළී භික්‍ෂුණියට මෙය කිවු යැ:
ආර්‍ය්‍යාවෙනි, තෝ කුමක් හෙයින් මා එන කල්හි අසුන් නොමැ පැනවූ, පා දෝනාදිය දෙවූ පා තබන පුටුව නො දෙවූ පා තබන පුටුව නො මැ එළවා තැබුව, පෙර ගමන් කොට පා සිවුරු නො පිළිගතුව, පැනින් නො පිළිවුසුව යි. ආර්‍ය්‍යාවෙනි, මෙය මෙසේ මැ යි. පිළිසරණ නැතියකට මෙනි. ආර්‍ය්‍යාවෙනි, තෝ කුමක් හෙයින් පිළිසරණ නැතියෙහි ද? ආර්‍ය්‍යාවෙනි, මේ භික්‍ෂුණීහු “මෝ තොමෝ පිළිසරණ නැතියකැ අප්‍රසිද්ධ යැ, මැය පිළිබඳ වැ කිසියම් පටහැණි ව කියන්නියක් නැතැ” යි ඇවැත් නො දැක්මෙහි උකෙව්නීකම් කළහ යි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ මෙව්හු බාලයෝ යැ, මෙව්හු අවියත්හු යැ, මෙව්හු කර්‍මය හෝ කර්‍මදෝෂය හෝ කර්‍මවිපත්තිය හෝ කර්‍මසම්පත්තිය හෝ නො දනිති යි කළසැඬබව ඇත්තී ගණයා තැති ගැන්වූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ කළ සැඬබව ඇත්තී ගණයා තැතිගැන්වූ” දැ යි … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා මෙහෙණ කළ සැඬබව ඇත්තී ගණයා තැතිගැන්වූ දැ යි, සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා මෙහෙණ කළ සැඬබව ඇත්තී ගණයා තැතිගැන්වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් කළ සැඬබව ඇත්තී ගණයා තැති ගන්වා නම් පචිති වේ” යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
චණ්ඩිකතා නම්: කෝධනාව කියනු ලැබෙයි.
ගණ නම්: මෙහෙණසඟ කියනු ලැබෙයි.
පරිභාසෙය්‍ය: මෙව්හු බාලයෝ යැ මෙව්හු අවියත්හු යැ මෙව්හු කර්‍මය හෝ කර්‍මදෝෂය හෝ කර්‍ම විපත්තිය හෝ කර්‍ම සම්පත්තිය හෝ නො දනිති යි තැතිගන්වා නම් පචිති ඇවැත් වෙයි. බොහෝ මෙහෙණන්ට හෝ එක් මෙහෙණකට හෝ අනුපසපනකට හෝ තැති ගන්වා නම් දුකුළා ඇවැත් වේ.
අර්‍ත්‍ථය පෙරටු කොට කියන්නියට, ධර්‍මය පෙරටු කොට කියන්නියට, අනුශාසනය පෙරටු කොට කියන්නියට, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
තෙවන සිකපදයි.