4. 6. 2.
දෙවන සිකපදය
1. එ සමයෙහි භාග්යවත් බුදුහු විසල්පුරැ මහවෙනෙහි කුළාරහල්හි වැඩැවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ උපාද්ධ්යාය වූ ආයුෂ්මත් කප්පිතක තෙරණුවෝ සොහොනෙහි වෙසෙති. එසමයෙහි වනාහි සවග මෙහෙණන් අතුරෙහි මහතෙර වූ මෙහෙණ තොමෝ කලුරිය කළා වෙයි. සවග මෙහෙණෝ ඒ මෙහෙණ ගෙන ගොස් ආයුෂ්මත් කප්පිතක තෙරුන්ගේ විහාරයට නුදුරෙහි දවා තුඹක් කොට ගොස් ඒ තුඹ ළඟැ හඬත්. එකල්හි ආයුෂ්මත් කප්පිතක තෙරණුවෝ ඒ ශබ්දයෙන් පීඩිත වූවාහු ඒ තුඹ බිඳ විසුරුවාලූහ. සවග මෙහෙණෝ “මේ කප්පිතකයා විසින් අපගේ ආර්ය්යාවගේ තුඹ බිඳින ලදී. එබැවින් ඔහු නසාලම්හ” යි මන්ත්රණය කළාහු යැ. එක්තරා මෙහෙණක් ආයුෂ්මත් උපාලි තෙරුන්ට තෙල කරුණ ඇරොජූහ. ආයුෂ්මත් උපාලි තෙරණුවෝ ආයුෂ්මත් කප්පිතක තෙරුන්ට තෙල කරුණ ඇරොජූහ. එකල්හි ආයුෂ්මත් කප්පිතක තෙරණුවෝ වෙහෙරින් නික්ම සැඟවී හුන්හ. එකල්හි සවග මෙහෙණෝ ආයුෂ්මත් කප්පිතක තෙරුන්ගේ විහාරයට එළඹියහ. එළැඹැ ආයුෂ්මත් කප්පිතක තෙරුන්ගේ විහාරය පහණින් ද කැටින් ද වතුරුවා කප්පිතක මෙළේ යැ යි බැහැරැ ගියහ.
2. ඉක්බිති ආයුෂ්මත් කප්පිතක තෙරණුවෝ ඒ රැය ඇවෑමෙන් පෙරවරුහි හැඳ පෙරවැ පා සිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසියහ. සවග මෙහෙණෝ පිඬු පිණිස හැසිරෙන ආයුෂ්මත් කප්පිතක තෙරුන් දැක මෙසේ කීහු. “මේ කප්පිතක තෙමේ ජීවත් වෙයි, කවරෙක් අපගේ මන්ත්රණය ගෙන ගියේ දැ”යි. සවග මෙහෙණෝ “ආර්ය්ය උපාලි තෙරුන් විසින් අපගේ මන්ත්රණය ගෙන යන ලදැ” යි ඇසූහු. ඔහු ආයුෂ්මත් උපාලි තෙරුන්ට ආක්රෝශ කළහ: කෙසේ නම් මේ කසාවට (කහවත් හැඳ) නැහැවිකම් කළ මලහරන නිහීනජාති ඇතියේ අපගේ මන්ත්රණය ගෙන ගියේ දැ” යි.
3. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ උපාලි ආර්ය්යන්ට ආක්රෝශ කොළෝ” දැ යි. … සැබෑ ද මහණෙනි, සවග මෙහෙණෝ උපාලිහට ආක්රෝශ කෙරෙත් දැ යි, සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ උපාලිහට ආක්රෝශ කළෝ ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි, … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් මහණක්හට ආක්රෝශ කෙරේ නම් හෝ බිය එළවා නම් හෝ පචිති වේ” යයි.
4. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
භික්ඛුං: උපසපනක්හු.
අක්කෝසෙය්යවා: දශආක්රොශවස්තුවෙන් හෝ ඔවුනතුරෙන් එක්තරයකින් හෝ ආක්රෝශ කෙරේ නම් පචිති ඇවැත් වෙයි.
පරිභාසෙය්ය වා: බිය දක්වා නම් පචිති ඇවැත් වේ.
උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියා ආක්රෝශ කෙරේ නම් හෝ බය දක්වා නම් හෝ පචිති ඇවැත් වෙයි, උපසපනක්හු කෙරෙහි විමති ඇතියා ආක්රෝශ කෙරේ නම් හෝ බිය දක්වා නම් හෝ පචිති ඇවැත් වෙයි, උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියා ආක්රෝශ කෙරේ නම් හෝ බිය දක්වා නම් හෝ පචිති ඇවැත් වේ.
අනුපසපනක්හට ආක්රෝශ කෙරේ නම් හෝ බිය දක්වා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
අර්ත්ථය පෙරටු කොට කියන්නියට, ධර්මය පෙරටු කොට කියන්නියට, අනුශාසනය පෙරටු කොට කියන්නියට, උම්මත්තිකාවට … ආදි කම්මිකාවට ඇවැත් නැති.
දෙවන සිකපද යි.
4. 6. 3.
තෙවන සිකපදය
1. ශ්රාවස්තිනිදානයි – එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්ෂුණී තොමෝ ඩබරකරන්නී කලහකරන්නී විවාදකරන්නී දොඩමළුකම් කරන්නී සඞ්ඝයා කෙරෙහි අධිකරණ කරන්නී වෙයි. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ ඇයට කර්ම කරනු ලබන කල්හි පටහැණි වැ කරුණු කියයි, එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ කිසියම් ඇවැසි කටයුත්තකින් ගමකට ගියා යැ. එකල්හි භික්ෂුණීසඞ්ඝ තෙමේ ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ බැහැරැ ගියා යැ යි චණ්ඩකාළී භික්ෂුණියට ඇවැත් නො දැක්මෙහි උකෙව්නීකම් කෙළේ යැ. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ ගමෙහි ඒ ඇවැසි කටයුත්ත තීරණය කොට නැවැතත් සැවැතට පෙරළා අවු යැ. චණ්ඩකාළී භික්ෂුණී තොමෝ එන්නා වූ ථුල්ලනන්දා භික්ෂුණියට අසුන් නො මැ පැනවූ යැ. පාදෝනාදිය දෙවූ පා තබන පුටුව නො දෙවූ පාතබන පුටුව නො මැ එළවා තැබූ යැ. පෙර ගමන් කොට පා සිවුරු නො පිළිගතු යැ. පැනින් නො පිළිවුසූ යැ. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ චණ්ඩකාළී භික්ෂුණියට මෙය කිවු යැ: