4. 6. 1.
පළමු සිකපදය
1. එ සමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩැවෙසෙති. එ සමයෙහි වනාහි බොහෝ භික්ෂූහු ගම්බද අවසෙක්හි එක් සිවුරක් ඇතියාහු සිවුරුකම් කෙරෙත්. මෙහෙණෝ නො පිළිවිසැ අරමට පිවිස ඒ භික්ෂූන් වෙත එළඹියහ. භික්ෂූහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ නො පිළිවිසැ අරමට පිවිසියාහු දැ” යි … සැබෑද මහණෙනි, මෙහෙණෝ නො පිළිවිසැ අරමට පිවිසෙත් දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ නො පිළිවිසැ අරමට පිවිසියාහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
“යම් මෙහෙණක් නො පිළිවිසැ අරමට පිවිසේ නම් පචිති වේ” යයි.
මෙසේත් භාග්යවතුන් විසින් මෙහෙණන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
2. එ සමයෙහි වනාහි ඒ භික්ෂූහු ඒ අවසින් බැහැරැ ගියහ. මෙහෙණෝ ආර්ය්යයෝ බැහැරැ ගියාහ යි අරමට නො පැමිණියහ. එකල්හි ඒ භික්ෂූහු යළිත් ඒ අවසට පෙරළා ආහ. මෙහෙණෝ ආර්ය්යයෝ ආවාහ යි පිළිවිසැ අරමට පිවිස ඒ භික්ෂූන් වෙත එළඹියහ. එළැඹැ ඒ භික්ෂූන් වැඳ එකත් පසෙකැ සිටියහ. එකත් පසෙකැ සිටියාවූ ඒ මෙහෙණන්ට ඒ භික්ෂූහු මෙය කීහු: ‘බුහුනෙනි, තෙපි කුමක් හෙයින් අරම නො මැ හැමදූහු ද? පැන් හා පිරිබෝදිය නො මැ එළවා තැබූහු දැ’යි. ආර්ය්යයෙනි, භාග්යවතුන් විසින් ‘නො පිළිවිසැ අරමට නො පිවිසියයුතු’ යැ යි සිකපදයෙක් පනවන ලදී. එහෙයින් අපි නො පැමිණියම්හ යි. භාග්යවතුන්ට තෙල කරුණ ඇරොජූහු … ‘මහණෙනි, ඇති මහණක්හු පිළිවිසැ අරමට පිවිසෙන්නට අනුදනිමි’යි. මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසේ නම් පචිති වේ” යයි.
මෙසේත් භාග්යවතුන් විසින් මෙහෙණන්ට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි වනාහි ඒ භික්ෂූහු ඒ අවසින් බැහැරැ ගොස් නැවතත් ඒ මැ අවසට පෙරළා ආහ. මෙහෙණෝ ආර්ය්යයෝ බැහැරැ ගියාහු යයි නො පිළිවිසැ අරමට පිවිසියහ. ඒ මෙහෙණන්ට කුකුසෙක් විය, භාග්යවතුන් විසින් ‘ඇති මහණක්හු නො පිළිවිසැ අරමට නො පිවිසියයුතු ය’යි සිකපදයෙක් පනවන ලදී. අපි ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසියෙමු. කිම? අපි පචිති ඇවැතට පැමිණියමෝ දැ යි. භාග්යවතුන්ට තෙල කරුණ ඇරොජූහු. එකල්හි භාග්යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සික පදය උදෙසත්වා:
“යම් මෙහෙණක් දැන දැන මහණුන් සහිත අරමකට නො පිළිවිසැ පිවිසේ නම් පචිති වේ” යයි.
4. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණිය යි.
ජානාති නම්: තොමෝ හෝ දනියි. අන්හු හෝ ඇයට ඇරොජති. ඔහු හෝ ඇරොජත්.
සභික්ඛුක ආරාම නම්: යම් තැනෙක රුක්මුලෙක්හු දු මහණෝ වෙසෙත් ද ඒ අරම.
අනාපුච්ඡා ආරාමං පවිසෙය්ය: මහණක්හු හෝ හෙරණක්හු හෝ ආරාමිකයක්හු හෝ නො පිළිවිසැ පිරිකෙව් කළ අරම්හි පරික්ෂේපය ඉක්මවන්නියට පචිති ඇවැත් වෙයි. නො පිරිකෙව් කළ අරම්හි උවසරට බසින්නියට පචිති ඇවැත් වේ.
භික්ෂුසහිතයෙහි භික්ෂුසහිත සංඥා ඇතියා ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසේ නම් පචිති ඇවැත් වෙයි. භික්ෂුසහිතයෙහි විමති ඇතියා ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසේ නම් දුකුළා ඇවැත් වෙයි. භික්ෂුසහිතයෙහි භික්ෂුරහිතසංඥා ඇතියා ඇති මහණක්හු නො පිළිවිසැ අරමට පිවිසේ නම් ඇවැත් නැති.
භික්ෂුරහිතයෙහි භික්ෂුසහිතසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. භික්ෂුසහිතයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වේ. භික්ෂු රහිතයෙහි භික්ෂුරහිතසංඥා ඇතියා නම් ඇවැත් නැති.
ඇති මහණක්හු පිළිවිසැ පිවිසේ නම්, නැති මහණක්හු නො පිළිවිසැ පිවිසේ නම්, හිස අනුව බලමින් යේ නම්, යම් තැනෙකැ මෙහෙණෝ රැස්වූවාහු වෙත් ද එහි යේ නම්. අරම්හි මඟ වේ නම්, ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
පළමු සිකපද යි.