4. 4. 9.
නවවන සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවරැ වේළුවන නම් කලන්‍දක නිවාපයෙහි වැඩවෙසෙති. එසමයෙහි වනාහි මෙහෙණෝ ඇතුළුවසැ චාරිකායෙහි හැසිරෙත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් මෙහෙණෝ ඇතුළු වසැ නිල්තණ මඬින්නෝ ඒකෙන්‍ද්‍රිය ජීවය පෙළන්නෝ බොහෝ කුඩා පණුවන් විනාශයට පමුණුවන්නාහු චාරිකායෙහි හැසිරුණාහු දැ” යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ඇතුළු වසැ චාරිකාවෙහි හැසුරුණාහු දැ” යි … සැබෑද මහණෙනි, මෙහෙණෝ ඇතුළු වසැ චාරිකායෙහි හැසිරෙත් දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ ඇතුළු වසැ චාරිකාවෙහි හැසිරුණාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ ඇතුළු වසැ චාරිකායෙහි හැසිරේ නම් පචිති වේ” ය යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අන්තොවස්සං: පළමු තෙමස හෝ පැසුළු තෙමස හෝ නො වැස.
චාරිකං චරෙය්‍ය: කුකුළු ගමන් ඇතිගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. නොගම් වූ අරන්හි අඩයොත්නෙහි අඩයොත්නෙහි පචිති ඇවැත් වේ.
සත්තාහකරණීයයෙන් යේ නම්, කිසිවකු විසින් උවදුරු කරන ලද්දී යේ නම්, ආපදායෙහි උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවම සිකපද යි.
4. 4. 10.
දසම සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවරැ වේළුවන නම් කලන්‍දකනිවාපයෙහි වැඩවෙසෙති, එසමයෙහි වනාහි මෙහෙණෝ එහි මැ රජගහනුවරැ වස් වෙසෙති. හිමත් සමය එහි යැ ගිමන් සමය එහි යැ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “මෙහෙණන්ට දිගුහු හකයහ, අඳුරුයහ, මොවුනට දිසාවෝ නො වැටහෙති” යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. එකල්හි ඒ මෙහෙණෝ භික්‍ෂූන්ට තෙල කරුණ ඇරොජූහු. භික්‍ෂූහු භාග්‍යවතුන්ට තෙල කරුණ ඇරොජූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක. එසේ නම් මහණෙනි, මෙහෙණන්හට දස කරුණක් පිණිස සිකපද පනවන්නෙමි. සඞ්ඝයාගේ මනාබව පිණිස යැ … සසුන් තිරකල් පැවැත්ම පිණිස යැ. විනයට රුකුල් පිණිස යැ. මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ වැස නිමවූ වස් ඇතියා යටත් පිරිසෙයින් සපස් යොදුනකුදු චාරිකායෙහි නොයේ නම් පචිති වේ” ය යි.