4. 4. 10.
දසම සිකපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු රජගහනුවරැ වේළුවන නම් කලන්දකනිවාපයෙහි වැඩවෙසෙති, එසමයෙහි වනාහි මෙහෙණෝ එහි මැ රජගහනුවරැ වස් වෙසෙති. හිමත් සමය එහි යැ ගිමන් සමය එහි යැ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “මෙහෙණන්ට දිගුහු හකයහ, අඳුරුයහ, මොවුනට දිසාවෝ නො වැටහෙති” යි.
2. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. එකල්හි ඒ මෙහෙණෝ භික්ෂූන්ට තෙල කරුණ ඇරොජූහු. භික්ෂූහු භාග්යවතුන්ට තෙල කරුණ ඇරොජූහු. එකල්හි භාග්යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා දැහැමි කථා කොට භික්ෂූන් ඇමතූ සේක. එසේ නම් මහණෙනි, මෙහෙණන්හට දස කරුණක් පිණිස සිකපද පනවන්නෙමි. සඞ්ඝයාගේ මනාබව පිණිස යැ … සසුන් තිරකල් පැවැත්ම පිණිස යැ. විනයට රුකුල් පිණිස යැ. මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ වැස නිමවූ වස් ඇතියා යටත් පිරිසෙයින් සපස් යොදුනකුදු චාරිකායෙහි නොයේ නම් පචිති වේ” ය යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
වස්සංවුත්ථා නම්: පළමු තෙමස හෝ පැසුළු තෙමස හෝ වැස නිමවූ වස් ඇතියා යටත් පිරිසෙයින් සපස් යොදුනකුදු චාරිකායෙහි නො යන්නෙමි යි ධුරනික්ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනතුරක් ඇති කල්හි, සොයා දෙවන මෙහෙණක නො ලබා නම් ඇවැත් නැත. ගිලන් වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසවන සිකපද යි.
චතුර්ත්ථ තුවට්ට වර්ග යි.
එහි උද්දානය:
සෙය්ය යැ ඒකත්ථරණ යැ අඵාසුක යැ දුක්ඛිත යැ උපස්සය සමඟ සංසට්ඨ යැ අන්තොරට්ඨ – තිරොරට්ඨ දෙක යැ අන්තෝවස්සය සමඟ චාරිකා යැ යි.