4. 4. 8.
අටවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි මෙහෙණෝ සැක සහිතයැයි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරෙත්. ධූර්‍තයෝ දූෂණය කෙරෙත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ සැක සහිතයැයි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරුණාහු දැ”යි, … සැබෑද මහණෙනි, මෙහෙණෝ සැක සහිතයැයි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරෙත් දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ සැක සහිතයැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියාහු චාරිකාවෙහි හැසිරුණාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසෙත්වා:
“යම් මෙහෙණක් තොමෝ වනාහි සැක සහිතැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ රටින් පිටතැ ගැල් සාත්තු නැතියා චාරිකාවෙහි හැසිරේ නම් පචිති වේ” ය යි.
2. යා පන: යම් යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
තිරොරට්ඨ නම්: යමක්හුගේ රටෙහි වෙසේ නම් එය තබා අනෙකක්හුගේ රටෙහි යැ.
සාසඞ්ක නම්: ඒ මඟෙහි සොරුන් වුසූ තැනෙක් පැනෙයි. අහර කිස කළ තැනෙක් පැනෙයි. සිටි තැනෙක් පැනෙයි. හුන් තැනෙක් පැනෙයි, හොත් තැනෙක් පැනේ.
සප්පටිභය නම්: ඒ මඟෙහි සොරුන් විසින් නැසූ මිනිස්සු පැනෙති, වොලොගන්නා ලද්දාහු පැනෙති. කොළන ලද්දාහු පැනෙත්.
අසත්‍ථිකා නම්: ගැල් සාත්තුව හැරැ.
චාරිකං චරෙය්‍ය: කුකුළු ගමන් ඇති ගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. නොගම් වූ අරන්හි අඩයොත්නෙහි අඩයොත්නෙහි පචිති ඇවැත් වේ.
ගැල් සාත්තුව සමග යේ නම්, ක්‍ෂේම වූ ප්‍රතිභය රහිත වූ ගමෙහි යේ නම් ඇවැත් නැත. ආපදායෙහි උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
අටවන සිකපද යි.
4. 4. 9.
නවවන සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවරැ වේළුවන නම් කලන්‍දක නිවාපයෙහි වැඩවෙසෙති. එසමයෙහි වනාහි මෙහෙණෝ ඇතුළුවසැ චාරිකායෙහි හැසිරෙත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් මෙහෙණෝ ඇතුළු වසැ නිල්තණ මඬින්නෝ ඒකෙන්‍ද්‍රිය ජීවය පෙළන්නෝ බොහෝ කුඩා පණුවන් විනාශයට පමුණුවන්නාහු චාරිකායෙහි හැසිරුණාහු දැ” යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ඇතුළු වසැ චාරිකාවෙහි හැසුරුණාහු දැ” යි … සැබෑද මහණෙනි, මෙහෙණෝ ඇතුළු වසැ චාරිකායෙහි හැසිරෙත් දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ ඇතුළු වසැ චාරිකාවෙහි හැසිරුණාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ ඇතුළු වසැ චාරිකායෙහි හැසිරේ නම් පචිති වේ” ය යි.