4. 4. 5.
පස්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි භද්‍රා කාපිලානී තොමෝ සාකේතයෙහි වස් එළැඹියා වෙයි. ඕතොමෝ කිසියම් කරුණෙකින් උවදුරට පැමිණියා ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ සමීපයෙහි දූතයකු යැවූ යැ. “ඉදින් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ මාහට අසපුවක් දෙන්නී නම් මම සැවැතට එන්නෙමි” යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ‘පැමිණේවා දෙන්නෙමැ’යි මෙසේ කිවු යැ. ඉක්බිති භද්‍රා කාපිලානී තොමෝ සාකේතයෙන් සැවැතට පැමිණියා යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී භද්‍රා කාපිලානියහට අසපුවක් දුනු යැ. එසමයෙහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍ර වූවා වෙයි. භද්‍රා කාපිලානී තොමෝත් බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍ර වූවා උදාර සම්භාවිතවූවා වෙයි. මිනිස්සු ආර්‍ය්‍යා භද්‍රා කාපිලානී තොමෝ බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍ර වූවා උදාරසම්භාවිතවූවා යයි භද්‍රා කාපිලානිය පළමුව පර්‍ය්‍යුපාසනය කොට පසු වැ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය පර්‍ය්‍යුපාසනය කෙරෙත්. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ඊර්‍ෂ්‍යාවෙන් මඬනා ලද්දී “යම්බඳු මොහු හැඟීවීම් බහුල කොට ඇතියාහු විනවීම් බහුල කොට ඇතියාහු වෙසෙත් ද, මොහු අපිස් ඇතියාහු ල, ලද දෙයින් සතුටු වන්නාහු ල, ප්‍රකර්‍ෂවිවේක ඇතියාහු ල, ගිහියන් හා නොගැටුනාහු ලැ යි, කිපියා නො සියමන් වූවා භද්‍රා කාපිලානිය අසපුවෙන් ඇද දැමූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ ආර්‍ය්‍යා භද්‍රා කාපිලානියට අසපුවක් දී කිපියා නොසියමන් වූවා ඇදදැමූ දැ” යි. … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී භද්‍රා කාපිලානියට අසපුවක් දී කිපියා නො සියමන් වූවා ඇදදැමූ දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී භද්‍රා කාපිලානියට අසපුවක් දී කිපියා නොසියමන් වූවා ඇද දැමූද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් මෙහෙණකට අසපුවක් දී කිපියා නොසියමන් වූවා ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති වේ” යැ යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
භික්ඛුනියා: අන් මෙහෙණකට.
උපස්සය නම්: කවුළු බැඳියේ කියනු ලැබේ.
දත්‍වා: තොමෝ දී.
කුපිතා අනත්තමනා: නො ඇලුනී හැනුනු සිතැත්තී හටගත් ක්‍රෝධහුල් ඇත්තී.
නික්කඩ්ඪෙය්‍ය: ගැබෙහි ගෙනැ අග්දෙරියට ඇද දමානම් පචිති ඇවැත් වෙයි. අග්දෙරියෙහි ගෙනැ බැහැරට ඇද දමා නම් පචිති ඇවැත් වෙයි. එක් පියොවෙකින් බොහෝ වූ ද දොර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
නික්කඩ්ඪාපෙය්‍ය: මෙරමා හට අණ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. වරක් අණවන ලද්දී බොහෝ වූ ද දොර ඉක්මවා නම් පචිති ඇවැත් වේ. උපසපනක කෙරෙහි උපසපන්සන් ඇත්තී අසපුවක් දී කිපියා නො සියමන් වූවා ඇදදමා නම් හෝ ඇදදමවා නම් හෝ පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා අසපුවක් දී කිපියා නො සියමන් වූවා ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇත්තී අසපුවක් දී කිපියා නො සියමන් වූවා ඇද දමා නම් හෝ ඇද දමවා නම් හෝ පචිති ඇවැත් වේ.