4. 4. 4.
සතරවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ දුකටපත් සහජීවනියහට නොමැ උවැටන් කෙරෙයි. උවැටන් කැරැවීමට උත්සාහ නො කෙරෙයි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ දුකටපත් සහජීවිනියහට නොමැ උවැටන් කළා ද? උවැටන් කැරැවීමට උත්සාහ නො කළා” දැයි … සැබෑද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ දුකටපත් සහජීවනියහට නො මැ උවැටන් කෙරේද? උවැටන් කැරැවීමට උත්සාහ නො කෙරේදැයි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ දුකටපත් සහජීවනියහට නොමැ උවැටන් කළා ද? උවැටන් කැරැවීමට උත්සාහ නො කළා ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ දුකටපත් සහජීවනියට නො මැ උවැටන් කෙරේ නම් උවැටන් කැරැවීමට උත්සාහ නො කෙරේ නම් පචිති වේ” ය යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී: … මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
දුක්ඛිතා නම්: ගිලනැයි කියනු ලැබෙයි.
සහජීවනී නම්: සද්ධිවිහාරිනී කියනු ලැබෙයි.
නේව උපට්ඨෙය්ය: තොමෝ උවැටන් නො කෙරෙයි.
න උපට්ඨාපනාය උස්සුක්කං කරෙය්ය: මෙරමාහට නො අණවයි. නොමැ උවැටන් කරන්නෙමි උවැටන් කැරැවීමට උත්සාහ නො කරන්නෙමි යි ධුරනික්ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වෙයි. අතැවැසිනියකට හෝ අනුපසපනකහට හෝ නොමැ උවැටන් කෙරේ නම් උවැටන් කැරැවීමට උත්සාහ නො කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
අනතුරක් ඇතිකල්හි, සොයා නො ලබා නම්, ඇවැත් නැත. ගිලනහට ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
සතරවන සිකපද යි.
4. 4. 5.
පස්වන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි භද්රා කාපිලානී තොමෝ සාකේතයෙහි වස් එළැඹියා වෙයි. ඕතොමෝ කිසියම් කරුණෙකින් උවදුරට පැමිණියා ථුල්ලනන්දා භික්ෂුණියගේ සමීපයෙහි දූතයකු යැවූ යැ. “ඉදින් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ මාහට අසපුවක් දෙන්නී නම් මම සැවැතට එන්නෙමි” යි. ථුල්ලනන්දා භික්ෂුණී ‘පැමිණේවා දෙන්නෙමැ’යි මෙසේ කිවු යැ. ඉක්බිති භද්රා කාපිලානී තොමෝ සාකේතයෙන් සැවැතට පැමිණියා යැ. ථුල්ලනන්දා භික්ෂුණී භද්රා කාපිලානියහට අසපුවක් දුනු යැ. එසමයෙහි ථුල්ලනන්දා භික්ෂුණී බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්ර වූවා වෙයි. භද්රා කාපිලානී තොමෝත් බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්ර වූවා උදාර සම්භාවිතවූවා වෙයි. මිනිස්සු ආර්ය්යා භද්රා කාපිලානී තොමෝ බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්ර වූවා උදාරසම්භාවිතවූවා යයි භද්රා කාපිලානිය පළමුව පර්ය්යුපාසනය කොට පසු වැ ථුල්ලනන්දා භික්ෂුණිය පර්ය්යුපාසනය කෙරෙත්. ථුල්ලනන්දා භික්ෂුණී ඊර්ෂ්යාවෙන් මඬනා ලද්දී “යම්බඳු මොහු හැඟීවීම් බහුල කොට ඇතියාහු විනවීම් බහුල කොට ඇතියාහු වෙසෙත් ද, මොහු අපිස් ඇතියාහු ල, ලද දෙයින් සතුටු වන්නාහු ල, ප්රකර්ෂවිවේක ඇතියාහු ල, ගිහියන් හා නොගැටුනාහු ලැ යි, කිපියා නො සියමන් වූවා භද්රා කාපිලානිය අසපුවෙන් ඇද දැමූ යැ.