4. 4. 3.
තෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කරන්නට අග්‍රවූවා වෙයි. භද්‍රා කාපිලානී තොමෝත් බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කරන්නට අග්‍රවූවා උදාර පුද්ගලයන් විසින් සම්භාවිත වූවා වෙයි. මිනිස්සු ආර්‍ය්‍යා භද්‍රා කාපිලානී තොමෝ බොහෝ ඇසූපිරූතැන් ඇත්තී පිරිවැහූ බණ දහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කියන්නට අග්‍රවූවා උදාර පුද්ගලයන් විසින් සම්භාවිත වූවා යැයි භද්‍රා කාපිලානිය පළමු කොට පර්‍ය්‍යුපාසනය කොට පසුවැ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය පර්‍ය්‍යුපාසනය කෙරෙත්. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඊර්‍ෂ්‍යාවෙන් මඩනා ලද්දී “මොහු වනාහි අපිස්වූවාහු සන්තුෂ්ට වූවාහු ප්‍රවිවික්ත වූවාහු අමිශ්‍ර වූවාහුය. යම්බඳු මොහු හැඟවීම් බහුල කොට ඇතියාහු විනවීම් බහුල කොට ඇතියාහු වෙසෙද්දැයි භද්‍රා කාපිලානියගේ ඉදිරියෙහි සක්මන් ද කෙරෙයි, සිටීමද කෙරෙයි, හිඳීම ද කෙරෙයි, ශයනය ද කෙරෙයි, උදෙසීම ද කෙරෙයි, උදෙසවා ගැනීම ද කෙරෙයි, හැදෑරීම ද කෙරෙයි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ ආර්‍ය්‍යා භද්‍රා කාපිලානියහට දැනැදැනැ අපහසු බව කළා දැයි … සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා මෙහෙණ භද්‍රා කාපිලානියහට දැන දැන අපහසු බව කෙරේදැයි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ භද්‍රා කාපිලානියහට දැනැදැනැ අපහසුබව කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසෙත්වා:
“යම් මෙහෙණක් මෙහෙණකට දැනැ දැනැ අපහසුබව කෙරේ නම් පචිති ඇවැත් වේ” ය යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
භික්ඛුනියා: අන් මෙහෙණකට.
සඤ්චිච්ච: දන්නී මොනවට දන්නී සිතා නිසැක සිත මෙහෙයවා ව්‍යතික්‍රමයැ.
අඵාසුං කරෙය්‍ය: මෙයින් මැයහට අපහසුවෙක් වන්නේ යැයි නො පිළිවිසැ ඉදිරියෙහි සක්මන් කෙරේ නම් හෝ සිටී නම් හෝ හිඳී නම් හෝ ශයනය කෙරේ නම් හෝ උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ හැදෑරීම කෙරේ නම් හෝ පචිති ඇවැත් වේ.
උපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා දැනැදැනැ අපහසු බව කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා දැනදැන අපහසුබව කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා දැනැදැනැ අපහසු බව කෙරේ නම් පචිති ඇවැත් වේ.
අනුපසපනකහට දැනැදැනැ අපහසුබව කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
අපහසුබව නො කරනු කැමැත්තී නම්, පිළිවිසැ ඉදිරියෙහි සක්මන් කෙරේ නම් හෝ සිටී නම් හෝ හිඳී නම් හෝ ශයනය කෙරේ නම් හෝ උදෙසා නම් හෝ උදෙස්වා නම් හෝ හැදෑරීම කෙරේ නම් ඇවැත් නැත. උම්මත්තිකාවට … ආදිකම්මිකාවට … ඇවැත් නැති.
තෙවන සිකපද යි.
4. 4. 4.
සතරවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දුකටපත් සහජීවනියහට නොමැ උවැටන් කෙරෙයි. උවැටන් කැරැවීමට උත්සාහ නො කෙරෙයි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ දුකටපත් සහජීවිනියහට නොමැ උවැටන් කළා ද? උවැටන් කැරැවීමට උත්සාහ නො කළා” දැයි … සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දුකටපත් සහජීවනියහට නො මැ උවැටන් කෙරේද? උවැටන් කැරැවීමට උත්සාහ නො කෙරේදැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ දුකටපත් සහජීවනියහට නොමැ උවැටන් කළා ද? උවැටන් කැරැවීමට උත්සාහ නො කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ දුකටපත් සහජීවනියට නො මැ උවැටන් කෙරේ නම් උවැටන් කැරැවීමට උත්සාහ නො කෙරේ නම් පචිති වේ” ය යි.
3. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී: … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.