4. 3. 9.
නවවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ උපස්ථායක කුලය ථුල්ලනන්‍දා භික්‍ෂුණියට මෙය කී යැ: “ආර්‍ය්‍යාවෙනි, ඉදින් අපි හැකියමෝ නම් මෙහෙණ සඟනට සිවුරක් දෙම් හ” යි. එ සමයෙහි වස්වැස නිමවූ මෙහෙණෝ සිවුරු බෙදනු කැමැත්තාහු රැස්වූහ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ඒ මෙහෙණන්ට මෙය කිවු යැ: “ආර්‍ය්‍යාවෙනි පොරොත්තු වවු; මෙහෙණසඟනට චීවරප්‍රත්‍යාශාව ඇතැ” යි. මෙහෙණෝ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට මෙය කීහු: ආර්‍ය්‍යාවෙනි, “යව ඒ සිවුර දනුව” යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ඒ කුලය වෙත එළඹියා ය. එළැඹැ ඒ මිනිසුන්ට මෙය කිවු යැ: ඇවැත්නි, “මෙහෙණ සඟනට සිවුරක් දෙව” යි. “ආර්‍ය්‍යාවෙනි, අපි මෙහෙණ සඟනට සිවුරක් දෙන්නට නො හැකියම්හ” යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී මෙහෙණන්හට තෙල කරුණ ඇරොජූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ සිවුරක් ලබන දුබල රිසියෙන් චීවරකාලසමය ඉක්මවූ දැ”යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී සිවුරක් ලබන දුබල රිසියෙන් චීවරකාලසමය ඉක්මවූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී සිවුරක් ලබන දුබල රිසියෙන් චීවරකාල සමය ඉක්ම වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත් වා:
“යම් මෙහෙණක් තොමෝ සිවුරක් ලබන දුබල රිසියෙන් චීවර කාලසමය ඉක්මවා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී: ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
දුබ්බලචීවරපච්චාසා නම්: ඉදින් අපි හැකියමෝ නම් දෙන්නමු කරන්නමු යි වාග් භේද කළා වෙයි.
චීවරකාලසමය නම්: කෙළින් නො අතුළ කල්හි වස්සානය පිළිබඳ පැසුළුමස යැ. කෙළින් අතුළ කල්හි පස්මස යි.
චීවරකාලසමයං අතික්කාමෙය්‍ය: කෙළින් නො අතුළ කල්හි වස්සානය පිළිබඳ පැසුළු දවස ඉක්මවා නම් පචිති ඇවැත් වෙයි. කෙළින් අතුළ කල්හි කෙළින් උදුරන දවස ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
දුබල සිවුරෙහි දුබල සිවුරුසන් ඇතියා චීවරකාලසමය ඉක්මවා නම් පචිති ඇවැත් වෙයි. දුබල සිවුරෙහි විමති ඇතියා චීවරකාලසමය ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දුබල සිවුරෙහි නො දුබල සිවුරුසන් ඇතියා චීවරකාලසමය ඉක්මවා නම් ඇවැත් නැති.
නො දුබල සිවුරෙහි දුබල සිවුරු සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දුබල සිවුරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දුබල සිවුරෙහි නො දුබල සිවුරුසන් ඇතියා නම් ඇවැත් නැති.
අනුසස් දක්වා වළක්වා නම්, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවවන සිකපද යි.
4. 3. 10.
දසවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා උවසුවකු විසින් සඞ්ඝයා උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වෙයි. හෙ තෙමේ ඒ විහාර පූජෝත්සවයෙහි දෙ සඟුන්හට අයල් සිවුරක් දෙනු කැමැතියේ වෙයි. එසමයෙහි වනාහි දෙ සඟුන් විසින් කඨිනය අතුරන ලද්දේ වෙයි. එකල්හි ඒ උවසු මේ සඞ්ඝයා වෙතැ එළැඹැ කඨින ඉදිරීම යැදී යැ. භාග්‍යවතුන්හට තෙල කරුණ ඇරොජූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේක. ‘මහණෙනි, කඨිනය උදුරන්නට අනුදනිමි’ මෙසේ ද මහණෙනි, ඉදිරිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝයා දැන්විය යුත්තේ යි.
2. ස්වාමීනි, සඞ්ඝයා මවදන් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝයා කඨිනය උදුරන්නේ යැ. මේ ඥප්ති යි.
ස්වාමීනි සඞ්ඝයා ම වදන් අසාවා. සඞ්ඝයා කඨිනය උදුරයි. යම් ආයුෂ්මත් කෙනකු කඨිනය ඉදිරීම රුස්නේ නම් හෙ නිහඬ වන්නේ යැ. යමක්හට නො රුස්නේ නම් හෙ කියන්නේ යැ. සඞ්ඝයා විසින් කඨින උදුරන ලදී. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.
3. ඉක්බිති ඒ උවසු මෙහෙණසඟුන් වෙතැ එළැඹැ කඨින ඉදිරීම යැදී යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී සිවුර අපට වන්නේ යයි කඨින ඉදිරීම වැළැක්වූ යැ. එකල්හි ඒ උවසු ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ අපට කඨින ඉදිරීම නො දුන්නු දැ” යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ උවසුවාගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.