4. 3. 10.
දසවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා උවසුවකු විසින් සඞ්ඝයා උදෙසා විහාරයෙක් කරවන ලද්දේ වෙයි. හෙ තෙමේ ඒ විහාර පූජෝත්සවයෙහි දෙ සඟුන්හට අයල් සිවුරක් දෙනු කැමැතියේ වෙයි. එසමයෙහි වනාහි දෙ සඟුන් විසින් කඨිනය අතුරන ලද්දේ වෙයි. එකල්හි ඒ උවසු මේ සඞ්ඝයා වෙතැ එළැඹැ කඨින ඉදිරීම යැදී යැ. භාග්‍යවතුන්හට තෙල කරුණ ඇරොජූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේක. ‘මහණෙනි, කඨිනය උදුරන්නට අනුදනිමි’ මෙසේ ද මහණෙනි, ඉදිරිය යුතුයි. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝයා දැන්විය යුත්තේ යි.
2. ස්වාමීනි, සඞ්ඝයා මවදන් අසාවා. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝයා කඨිනය උදුරන්නේ යැ. මේ ඥප්ති යි.
ස්වාමීනි සඞ්ඝයා ම වදන් අසාවා. සඞ්ඝයා කඨිනය උදුරයි. යම් ආයුෂ්මත් කෙනකු කඨිනය ඉදිරීම රුස්නේ නම් හෙ නිහඬ වන්නේ යැ. යමක්හට නො රුස්නේ නම් හෙ කියන්නේ යැ. සඞ්ඝයා විසින් කඨින උදුරන ලදී. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි යි.
3. ඉක්බිති ඒ උවසු මෙහෙණසඟුන් වෙතැ එළැඹැ කඨින ඉදිරීම යැදී යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී සිවුර අපට වන්නේ යයි කඨින ඉදිරීම වැළැක්වූ යැ. එකල්හි ඒ උවසු ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ අපට කඨින ඉදිරීම නො දුන්නු දැ” යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ උවසුවාගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
4. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ දැහැමි වූ කඨින ඉදිරීම වැළැක්වූ” දැ යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී දැහැමි වූ කඨින ඉදිරීම වැළැක් වූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී දැහැමි වූ කඨින ඉදිරීම වැළැක්වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් දැහැමි වූ කඨින ඉදිරීම වළක්වා නම් පචිති වේ” යයි.
5. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී: ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
ධම්මිකකඨිනුද්ධාර නම්: සමඟ වූ මෙහෙණ සඟහු රැස්වී උදුරති.
පටිබාහෙය්‍ය: කෙසේ මේ කඨින උදුරන්නේ දැ යි වළක්වා නම් පචිති ඇවැත් වේ.
දැහැමියෙහි දැහැමි සන් ඇතියා වළක්වා නම් පචිති ඇවැත් වෙයි. දැහැමියෙහි විමති ඇතියා වළක්වා නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමියෙහි නො දැහැමිසන් ඇතියා වළක්වා නම් ඇවැත් නැති.
නො දැහැමියෙහි දැහැමිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවත් වෙයි. නො දැහැමියෙහි නො දැහැමිසන් ඇතියා නම් ඇවැත් නැති.
අනුසස් දක්වා වළක්වා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසවන සිකපද යි.
තෘතීය නග්න වර්‍ග යි.
එහි උද්දානය:
නග්ග යැ උදක (සාටිකා) යැ විසිබ්බන යැ පඤ්චාහික යැ (චීවර) සඞ්කමනීය යැ ගණ යැ (චීවර) විභඞ්ග යැ සමණ (චීවර) යැ දුබ්බල යැ කඨිනයෙන් දැ යි.