4. 3. 8.
අටවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ “මාගේ ගුණ පිරිස්හි කියවයි නටවන්නන්ට ද නටන්නන්ට ද පනින්නන්ට ද ඉඳුරුදැලියන්ට ද කළකිඩියරුන්ට ද මහණ සිවුරු දෙයි. නටවන්නෝ ද නටන්නෝ ද පනින්නෝ ද ඉඳුරුදැලියෝ ද කළකිඩියරු ද ථුල්ලනන්දා භික්ෂුණියගේ ගුණ පිරිස්හි කියති: “ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ බොහෝ ඇසූ පිරූතැන් ඇත්තී පිරිවැහූ බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කරන්නට අග්රවූවා වෙයි. ආර්ය්යාවට දෙවු. ආර්ය්යාවහට (සත්කාර) කරවයි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ ගිහියකුට මහණසිවුරු දුනු දැ”යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී ගිහියකුට මහණ සිවුරු දේ දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී ගිහියකුට මහණසිවුරු දුනු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත් වා:
“යම් මෙහෙණක් ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජිනියකට හෝ මහණසිවුරු දේ නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණියි.
අගාරික නම්: ගෙහි වෙසෙන යම් කිසිවෙක්.
පරිබ්බාජක නම්: මහණ ද හෙරණ ද තබා පිරිවැජිබවට පැමිණි යම් කිසිවෙකි.
පරිබ්බාජිකා නම්: මෙහෙණ ද හික්මනුව ද හෙරැණිය ද තබා පිරිවැජි බවට පැමිණි යම් කිසිවක.
සමණචීවර නම්: කප්බින්දු ඔබනලද සිවුර කියනු ලැබේ. දේ නම් පචිති ඇවැත් වේ.
මවුපියන්ට දේ නම්, තව්කැලි කොට දේ නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
අටවන සිකපද යි.
4. 3. 9.
නවවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණියගේ උපස්ථායක කුලය ථුල්ලනන්දා භික්ෂුණියට මෙය කී යැ: “ආර්ය්යාවෙනි, ඉදින් අපි හැකියමෝ නම් මෙහෙණ සඟනට සිවුරක් දෙම් හ” යි. එ සමයෙහි වස්වැස නිමවූ මෙහෙණෝ සිවුරු බෙදනු කැමැත්තාහු රැස්වූහ. ථුල්ලනන්දා භික්ෂුණී ඒ මෙහෙණන්ට මෙය කිවු යැ: “ආර්ය්යාවෙනි පොරොත්තු වවු; මෙහෙණසඟනට චීවරප්රත්යාශාව ඇතැ” යි. මෙහෙණෝ ථුල්ලනන්දා භික්ෂුණියට මෙය කීහු: ආර්ය්යාවෙනි, “යව ඒ සිවුර දනුව” යි. ථුල්ලනන්දා භික්ෂුණී ඒ කුලය වෙත එළඹියා ය. එළැඹැ ඒ මිනිසුන්ට මෙය කිවු යැ: ඇවැත්නි, “මෙහෙණ සඟනට සිවුරක් දෙව” යි. “ආර්ය්යාවෙනි, අපි මෙහෙණ සඟනට සිවුරක් දෙන්නට නො හැකියම්හ” යි. ථුල්ලනන්දා භික්ෂුණී මෙහෙණන්හට තෙල කරුණ ඇරොජූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ සිවුරක් ලබන දුබල රිසියෙන් චීවරකාලසමය ඉක්මවූ දැ”යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී සිවුරක් ලබන දුබල රිසියෙන් චීවරකාලසමය ඉක්මවූ දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී සිවුරක් ලබන දුබල රිසියෙන් චීවරකාල සමය ඉක්ම වූ ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත් වා:
“යම් මෙහෙණක් තොමෝ සිවුරක් ලබන දුබල රිසියෙන් චීවර කාලසමය ඉක්මවා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී: ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
දුබ්බලචීවරපච්චාසා නම්: ඉදින් අපි හැකියමෝ නම් දෙන්නමු කරන්නමු යි වාග් භේද කළා වෙයි.
චීවරකාලසමය නම්: කෙළින් නො අතුළ කල්හි වස්සානය පිළිබඳ පැසුළුමස යැ. කෙළින් අතුළ කල්හි පස්මස යි.
චීවරකාලසමයං අතික්කාමෙය්ය: කෙළින් නො අතුළ කල්හි වස්සානය පිළිබඳ පැසුළු දවස ඉක්මවා නම් පචිති ඇවැත් වෙයි. කෙළින් අතුළ කල්හි කෙළින් උදුරන දවස ඉක්මවා නම් පචිති ඇවැත් වේ.