4. 3. 7.
සත්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණ සඟනට නො කල් සිවුරෙක් උපන්නේ වෙයි. එකල්හි මෙහෙණසඟහු එ සිවුර බෙදනු කැමැති වැ රැස්වූහ. එසමයෙහි ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ අතැවැසි මෙහෙණෝ බැහැර ගියාහු වෙති. ථුල්ලනන්‍දා භික්‍ෂුණී ඒ මෙහෙණන්ට මෙය කිවු යැ. “ආර්‍ය්‍යාවෙනි මෙහෙණෝ බැහැර ගියාහු යැ. (එන) තෙක් සිවුර නො බෙදන්නේ යැයි දැහැමි සිවුරු බෙදීම වැළැක්වූ යැ. මෙහෙණෝ එතෙක් සිවුරු නො බෙදන්නේ යැ යි බැහැර ගියාහු යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී අතැවැසි මෙහෙණන් පැමිණි කල්හි ඒ සිවුර බෙදවූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ දැහැමි සිවුරු බෙදීම වැළැක්වූ දැ”යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී දැහැමි සිවුරු බෙදීම වැළැක්වූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී දැහැමි සිවුරු බෙදීම වැළැක් වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් දැහැමි සිවුරු බෙදීම වළක්වා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරනලද භික්‍ෂුණියි.
ධම්මිකචීවර විභංග නම්: සමග වූ මෙහෙණසඟහු රැස්වී බෙදති.
පටිබාහෙය්‍ය: කෙසේ මේ සිවුර බෙදා දැයි වළක්වා නම් පචිති ඇවැත් වේ.
දැහැමියෙහි දැහැමිසන් ඇතියා වළක්වා නම් පචිති ඇවැත් වෙයි. දැහැමියෙහි විමති ඇතියා වළක්වා නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමියෙහි නොදැහැමිසන් ඇතියා වළක්වා නම් ඇවැත් නැති.
නො දැහැමියෙහි දැහැමිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමියෙහි නො දැහැමිසන් ඇතියා නම් ඇවැත් නැති.
අනුසස් දක්වා වළක්වා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත්වන සිකපද යි.
4. 3. 8.
අටවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ “මාගේ ගුණ පිරිස්හි කියවයි නටවන්නන්ට ද නටන්නන්ට ද පනින්නන්ට ද ඉඳුරුදැලියන්ට ද කළකිඩියරුන්ට ද මහණ සිවුරු දෙයි. නටවන්නෝ ද නටන්නෝ ද පනින්නෝ ද ඉඳුරුදැලියෝ ද කළකිඩියරු ද ථුල්ලනන්‍දා භික්‍ෂුණියගේ ගුණ පිරිස්හි කියති: “ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ බොහෝ ඇසූ පිරූතැන් ඇත්තී පිරිවැහූ බණදහම් ඇත්තී විශාරද වූවා දැහැමි කථා කරන්නට අග්‍රවූවා වෙයි. ආර්‍ය්‍යාවට දෙවු. ආර්‍ය්‍යාවහට (සත්කාර) කරවයි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ ගිහියකුට මහණසිවුරු දුනු දැ”යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ගිහියකුට මහණ සිවුරු දේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී ගිහියකුට මහණසිවුරු දුනු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත් වා:
“යම් මෙහෙණක් ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජිනියකට හෝ මහණසිවුරු දේ නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණියි.
අගාරික නම්: ගෙහි වෙසෙන යම් කිසිවෙක්.
පරිබ්බාජක නම්: මහණ ද හෙරණ ද තබා පිරිවැජිබවට පැමිණි යම් කිසිවෙකි.
පරිබ්බාජිකා නම්: මෙහෙණ ද හික්මනුව ද හෙරැණිය ද තබා පිරිවැජි බවට පැමිණි යම් කිසිවක.
සමණචීවර නම්: කප්බින්‍දු ඔබනලද සිවුර කියනු ලැබේ. දේ නම් පචිති ඇවැත් වේ.
මවුපියන්ට දේ නම්, තව්කැලි කොට දේ නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
අටවන සිකපද යි.