4. 3. 6.
සවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ඛුනිය ගේ උපස්ථායක කුලය ථුල්ලනන්දා භික්ෂුණියට මෙය කීයැ. “ආර්ය්යාවෙනි, මෙහෙණ සඟනට සිවුරක් දෙන්නෙමු” යි. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ තෙපි බොහෝ කිස ඇතියහ. බොහෝ ඇවැසි කටයුතු ඇතියහ යි අනතුරු කළා යැ. එ සමයෙහි වනාහි ඒ කුලයාගේ ගෙය දැවෙයි. ඔහු ලමුකොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ අපගේ පිදියයුතු වස්තුවට අනතුරු කළා ද? අපි භෝගයෙන් ද පිනෙන් දැ යි දෙපසින් පිරිහුණම්හ”යි.
2. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ ගණයාගේ චීවරලාභයට අනතුරු කළා දැ”යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී ගණයාගේ චීවරලාභයට අනතුරු කළා දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී ගණයාගේ චීවරලාභයට අනතුරු කළා ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ගණයාගේ චීවරලාභයට අනතුරු කෙරේ නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මො තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණියයි.
ගණ නම්: භික්ෂුණී සංඝයා කියනු ලැබේ.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකැපීමට සුදුසු පැසුළු සිවුර යි.
අන්තරායං කරෙය්ය: කෙසේ මොහු සිවුරක් දෙන්නාහු දැ යි අනතුරු කෙරේ නම් පචිති ඇවැත් වෙයි. අන් පිරිකරකට අනතුරු කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. බොහෝ මෙහෙණන්ගේ හෝ එක් මෙහෙණකගේ හෝ අනුපසපනකගේ හෝ චීවරලාභයට හෝ අන්යපරිෂ්කාරලාභයට හෝ අනතුරු කෙර් නම් දුකුළා ඇවැත් වේ.
අනුසස් දක්වා වළකා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සවන සිකපද යි.
4. 3. 7.
සත්වන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි මෙහෙණ සඟනට නො කල් සිවුරෙක් උපන්නේ වෙයි. එකල්හි මෙහෙණසඟහු එ සිවුර බෙදනු කැමැති වැ රැස්වූහ. එසමයෙහි ථුල්ලනන්දා භික්ෂුණියගේ අතැවැසි මෙහෙණෝ බැහැර ගියාහු වෙති. ථුල්ලනන්දා භික්ෂුණී ඒ මෙහෙණන්ට මෙය කිවු යැ. “ආර්ය්යාවෙනි මෙහෙණෝ බැහැර ගියාහු යැ. (එන) තෙක් සිවුර නො බෙදන්නේ යැයි දැහැමි සිවුරු බෙදීම වැළැක්වූ යැ. මෙහෙණෝ එතෙක් සිවුරු නො බෙදන්නේ යැ යි බැහැර ගියාහු යැ. ථුල්ලනන්දා භික්ෂුණී අතැවැසි මෙහෙණන් පැමිණි කල්හි ඒ සිවුර බෙදවූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ දැහැමි සිවුරු බෙදීම වැළැක්වූ දැ”යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී දැහැමි සිවුරු බෙදීම වැළැක්වූ දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී දැහැමි සිවුරු බෙදීම වැළැක් වූ ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් දැහැමි සිවුරු බෙදීම වළක්වා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරනලද භික්ෂුණියි.
ධම්මිකචීවර විභංග නම්: සමග වූ මෙහෙණසඟහු රැස්වී බෙදති.
පටිබාහෙය්ය: කෙසේ මේ සිවුර බෙදා දැයි වළක්වා නම් පචිති ඇවැත් වේ.
දැහැමියෙහි දැහැමිසන් ඇතියා වළක්වා නම් පචිති ඇවැත් වෙයි. දැහැමියෙහි විමති ඇතියා වළක්වා නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමියෙහි නොදැහැමිසන් ඇතියා වළක්වා නම් ඇවැත් නැති.
නො දැහැමියෙහි දැහැමිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමියෙහි නො දැහැමිසන් ඇතියා නම් ඇවැත් නැති.
අනුසස් දක්වා වළක්වා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත්වන සිකපද යි.