4. 3. 5.
පස්වන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එ සමයෙහි වනාහි එක්තරා මෙහෙණක් පිඬුපිණිස හැසිරැ තෙත් සිවුර විදහා වෙහෙරට පිවිසියා යැ. එක්තරා මෙහෙණක් ඒ සිවුර පෙරෙව ගමට පිඬුපිණිස පිවිසියා යැ. ඕ තොමෝ (වෙහෙරින්) නික්ම “ආර්ය්යාවෙනි මාගේ සිවුර දුටුවහු දැ” යි මෙහෙණන් පිළිවුසූ යැ. මෙහෙණෝ ඒ මෙහෙණට තෙල කරුණ ඇරොජූහු. ඉක්බිති ඒ මෙහෙණ ලමුකොට සිතයි; නුගුණ පවසයි, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් මාගේ සිවුර නො පිළිවිසැ පෙරවූ දැ” යි. එකල්හි ඒ මෙහෙණ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් මෙහෙණකගේ සිවුරක් නො පිළිවිසැ පෙරවූ දැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් මෙහෙණකගේ සිවුරක් නොපිළිවිසැ පෙරවූදැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් මෙහෙණක ගේ සිවුරක් නො පිළිවිසැ පෙරවූ ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් යළි දියයුතු සිවුරක් ධරා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
චීවරසංකමනීය නම්: උපසපනකගේ සිවුරුපස අතුරෙන් එක්තරා සිවුරෙකි. ඇය විසින් නො දුන් හෝ ඇය නො පිළිවිසැ හෝ හඳී නම් හෝ පොරවා නම් හෝ පචිති ඇවැත් වේ.
උපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා යළි දියයුතු සිවුරක් ධරා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා යළි දිය යුතු සිවුරක් ධරා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා යළි දියයුතු සිවුරක් ධරා නම් පචිති ඇවැත් වේ.
අනුපසපනකගේ යළි දියයුතු සිවුරක් ධරා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන් සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
ඕ මැ දේ නම් හෝ ඇය පිළිවිසැ හෝ හඳී නම් පොරවා නම්, අසිඳගත් සිවුරු ඇතියාට (ඇවැත් නොවෙයි), නට සිවුරු ඇතියාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පස්වන සිකපද යි.
4. 3. 6.
සවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ඛුනිය ගේ උපස්ථායක කුලය ථුල්ලනන්දා භික්ෂුණියට මෙය කීයැ. “ආර්ය්යාවෙනි, මෙහෙණ සඟනට සිවුරක් දෙන්නෙමු” යි. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ තෙපි බොහෝ කිස ඇතියහ. බොහෝ ඇවැසි කටයුතු ඇතියහ යි අනතුරු කළා යැ. එ සමයෙහි වනාහි ඒ කුලයාගේ ගෙය දැවෙයි. ඔහු ලමුකොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ අපගේ පිදියයුතු වස්තුවට අනතුරු කළා ද? අපි භෝගයෙන් ද පිනෙන් දැ යි දෙපසින් පිරිහුණම්හ”යි.
2. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ ගණයාගේ චීවරලාභයට අනතුරු කළා දැ”යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී ගණයාගේ චීවරලාභයට අනතුරු කළා දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී ගණයාගේ චීවරලාභයට අනතුරු කළා ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ගණයාගේ චීවරලාභයට අනතුරු කෙරේ නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මො තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණියයි.
ගණ නම්: භික්ෂුණී සංඝයා කියනු ලැබේ.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකැපීමට සුදුසු පැසුළු සිවුර යි.
අන්තරායං කරෙය්ය: කෙසේ මොහු සිවුරක් දෙන්නාහු දැ යි අනතුරු කෙරේ නම් පචිති ඇවැත් වෙයි. අන් පිරිකරකට අනතුරු කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. බොහෝ මෙහෙණන්ගේ හෝ එක් මෙහෙණකගේ හෝ අනුපසපනකගේ හෝ චීවරලාභයට හෝ අන්යපරිෂ්කාරලාභයට හෝ අනතුරු කෙර් නම් දුකුළා ඇවැත් වේ.
අනුසස් දක්වා වළකා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සවන සිකපද යි.