4. 3. 2.
දෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙණන්ට දියසළුව අනුදන්නා ලද්දේ වෙයි. සවග මෙහෙණෝ භාග්‍යවතුන් වහන්සේ විසින් දියසළුව අනුදන්නා ලදැ යි පමණ ඉක්ම වූ දියසළු දරත්, ඉදිරිපසිනුදු පසුපසිනුදු අදිමින් ඇවිදිත්.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ පමණ ඉක්ම වූ දියසළු දැරූහු”දැ යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණෝ පමණ ඉක්ම වූ දියසළු දරත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ පමණ ඉක්ම වූ දියසළු දැරූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“දියසළුවක් කරවනු ලබන මෙහෙණක විසින් පමණ ඇති වැ කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ: දිගින් සුගත් වියතින් සිවු වියතෙක. සරසින් දෙවියතෙකි, එ පමණ ඉක්මවන්නියට සිඳැලීමෙන් පසු දෙසිය යුතු ඇවැත් වේ”යයි.
3. උදකසාටිකා නම්: යමෙකින් හඳනා ලද්දී සනහා නම් හෝ යැ.
කාරයමානාය: කරන්නිය විසින් හෝ කරවන්නිය විසින් හෝ පමණ ඇති වැ කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ: දිගින් සුගත් වියතින් සිවු වියතෙක. සරසින් දෙවියතෙකි. එපමණ ඉක්ම වා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වෙයි. පිළිලැබීමෙන් සිඳැ පචිති දෙසිය යුතු.
තමා විසින් නිමාම් නො කරන ලද්ද තොමෝ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තොමෝ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් පිළිලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
පමණ ඇති කොට කෙරේ නම්, උනු කොට කෙරේ නම්, මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් පිළිලැබ සිඳපියා පිරිබෝ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම්, ඇවැත් නො වෙයි. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දෙවන සිකපදයි.