4. 2. 9.
නවවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ තමාගේ බඩු නො දක්නාහු චණ්ඩකාලී මෙහෙණට “ආර්ය්යාවෙනි, අපගේ බඩු දක්නෙහි”දැ යි මෙය කීහු. චණ්ඩකාළී මෙහෙණ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: යම් ආර්ය්යා කෙනෙක් තමාගේ බඩු නො දක්නාහු ද, ඔහු මට “ආර්ය්යාවෙනි, අපගේ බඩු දක්නෙහි” දැ යි මෙසේ කීහු යැ. මම් මැ ඒකාන්තයෙන් සෙරකිම් වෙම් ද, මම් මැ ඒකාන්තයෙන් ලජ්ජා නැතියකිම් වෙම් ද, ඉදින් ආර්ය්යාවෙනි, තොපගේ බඩු ගනිම් නම් නො මෙහෙණකිම් වෙමි. බඹසරින් ගිලිහෙමි, නිරයෙහි උපදිමි. යමක් වනාහි අභූතයෙන් මා හට මෙසේ කිවු ද, ඕ තොමෝත් නො මෙහෙණක් වේවා, බඹසරින් ගිලිහේවා, නිරයෙහි උපදීවා යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්ය චණ්ඩකාළී තොමෝ තමාට ද මෙරමාට ද නිරයෙනුදු බඹසරිනුදු හැවූ”දැ යි ... සැබෑද මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට ද මෙරමාට ද නිරයෙනුදු බඹසරිනුදු හවා දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට ද මෙරමාට ද නිරයෙනුදු බඹසරිනුදු හැවූ ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය මෙසේ උදෙසත්වා:
“යම් මෙහෙණක් තමාහට හෝ මෙරමා හට හෝ නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
අත්තානං: තමා කෙරෙහි.
පරං: උපසපනකට නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වේ.
උපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි විමති ඇතියා නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නිරයයෙන් හෝ බඹසරින් හෝ හවා නම් පචිති ඇවැත් වේ.
තිරශ්චීන යෝනියෙන් හෝ ප්රේතවිෂයයෙන් හෝ මනුෂ්ය දෞර්භාග්යයෙන් හෝ හවා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනකට හවා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි උපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක කෙරෙහි අනුපසපන්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
අර්ත්ථය පෙරටු කොට කියන්නියට, ධර්මය පෙරටු කොට කියන්නියට, අනුශාසනය පෙරටු කොට කියන්නියට, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
නවවන සිකපද යි.
4. 2. 10.
දසවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි චණ්ඩකාළී මෙහෙණ මෙහෙණන් සමග කලහ කොට තමාට පැහැරැ පැහැරැ හඬයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආර්ය්ය චණ්ඩකාළී තමාට පැහැරැ පැහැරැ හැඬූ”දැ යි. ... සැබෑද මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට පැහැරැ පැහැර හැඬූ දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට පැහැරැ පැහැරැ හැඬූ ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තමාට පැහැරැ පැහැරැ හඬා නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
අත්තානං: තමා කෙරෙහි.
පහරා නම් හඬා නම් පචිති ඇවැත් වෙයි. පහරා නො හඬා නම් දුකුළා ඇවැත් වෙයි. හඬා නම් නො පහරා නම් දුකුළා ඇවැත් වෙයි.
ඥාතිව්යසනයෙන් හෝ භෝගව්යසනයෙන් හෝ රොගව්යසනයෙන් හෝ පහස්නා ලද්දී හඬා නම් නො පහරා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසවන සිකපද යි.
ද්විතීය අන්ධකාර වර්ග යි.
එහි උද්දානය:
රත්තන්ධකාර යැ පටිච්ඡන්න යැ අජ්ඣොකාස යැ සිඞ්ඝාටක යැ අනාපුච්ඡා දෙක යැ විකාල යැ දුග්ගහිත යැ නිරය යැ වධ යැ යි.